top of page
Search

සතුන් ගැන - සුරතල් සතුන්, වන ජීවීන් ඇතුළත්

චානක බණ්ඩරගේ

 

o   මිනිසුන් වන අප සතුන්ට කරුණාවන්ත වූ සමාජයක් නිර්මාණය කළ යුතුය. අසරණ සතෙකුට උදව් කිරීම උතුම් ක්‍රියාවකි.

 

o   සෑම නිවසකම බල්ලෙකු, බළලෙකු හෝ වෙනත් සුරතල් සතෙකු ඇති දැඩි කරන්නේ නම් එය ඇත්තෙන්ම හොඳයි. මෙයින් පැමිණිය හැකි යහපත මිල කළ නොහැකි ය.

 

o   එහෙත්, අපට ඔවුන් සඳහා කාලය ලබා දිය නොහැකි නම් - ඔවුන් ඇති දැඩි නොකිරීම වඩා හොඳය.

 

o   සුරතලා ගෙදර ගෙන ආ මොහොතේ සිට අප ඔවුන්ව ‘දරුවන්’ මෙන් රැකබලා ගත යුතුය. අප ඔවුන් සමඟ සිංහල භාෂාවෙන් කතා කළ යුතුයි.

 

o   ඔබ ඔවුන්ට එක් වරක් ආදරය කරන්නේ නම් ඔවුන් අපට දස ගුණයකින් ආදරය කරනු ඇත.

 

o   කෑමට, නිදා ගැනීමට, පළිබෝධකයන් අල්ලා ගැනීමට, නිවස ආරක්ෂා කිරීමට ඔබට ඔවුන්ට ඉගැන්විය හැක. සතුන් සමඟ ආදරයෙන් කතා කිරීම කළාවකි. එය ඉගෙන ගෙන පෝෂණය කළ යුතුය. ඔබ ඔවුන්ට උගන්වන්නේ නම් - ‘දැන් කූඩුවට ගොස් නිදා ගැනීමට කාලයයි’,  ‘ඔබ අපට අහිතවත් සතුන් අල්ලා ගත යුතුයි’;  ඔවුන් ඒවා සෑම විටම  ඉගෙන ගනිති, ඒ ලෙසින්ම ක්‍රියා කරති.

 

o   ඔබේ සුරතල් සතුන් සමඟ කතා කිරීම ඔබේ රුධිරය පවිත්‍ර කරනවා පමණක් නොව ඔබ වටා ධනාත්මක හා ප්‍රීතිමත් වාතාවරණයක් නිර්මාණය කිරීමකි.

 

o   බල්ලන් කුඩු වල මුළු දිනම තබා නොගත යුතු අතර, දිනකට පැය 24 ම දම්වැල් දමා ද  බැඳ නොතිබිය යුතුය. ඒ ආකාරයෙන්, ඔබට  ප්‍රීතිමත් බල්ලෙකු නිර්මාණය කර ගත හැකි වනු ඇත. ඔවුන් ඇවිදවීමට හා ව්‍යායාම ලබා දීම ඉතා වැදගත්ය; එසේ කිරීමෙන් ඔබටද ව්‍යායාම ලැබේ.

 

o   ආනයනික වර්ග සොයනවාට වඩා අපේම සුනඛයන්/බළලුන් ඇති කළ යුතුයි. ඔවුන් අව්‍යාජ බැවින් ඉතාම සුදුසුය. ඔවුහු අප උපන් භුමියෙහි කොටසකි. විදේශීය සුනඛ/ බළලුන් මිලදී ගැනීම සඳහා මිනිසුන් විශාල මුදලක් වැය කරති. මෙය හාස්‍යජනක - මෙම සතුන් මඟින් සමජයේ උසස් තැනක් නිර්මාණය කර ගැනීමට හැකිවෙතැයි ඇතැම් මෝඩ මිනිසුන් සිතති (කාර්, ගෙවල්, ළමයාගේ පාසැල මෙන් සතුන් මඟින්ද මිනිස් සමාජයේ උසස් බවක් ලබා ගන්නා තැතක්; තමන්ගේ හොඳ ගතිගුණ වෙනුවට). මෙම විදේශ අභිජනන බොහෝ විට අසනීප වේ. ඔවුන් මස් හා උසස් තත්ත්වයේ ආහාර මත වැඩිපුර රඳා සිටිති. ඇත්ත, විදේශීය සතුන්  ලස්සනය.  නමුත් අපේ  සතුන් ඒ සියල්ලටම වඩා ලස්සනය.

 

o   ඉහළ පෙළේ පොලිස් නිලධාරියෙක් වරක් මෙම ලේඛකයාට පැවසුවේ අපේ දේශීය සුනඛයන් මනා පුහුණුවක් ලැබුවහොත් ඔවුන් විදේශීය සුනඛ අභිජනන වලට වඩා හොඳින්  පොලිස් රැකියාව කරන බවයි. සියල්ල රඳා පවතින්නේ පුහුණුව මත වන අතර අප ඔවුන්ව කොතරම් හොඳින් හසුරුවන්නේද යන්න වැදගත් බව ඔහු පැවසීය.

 

o   සතුන්ගේ හැසිරීම අධ්‍යනය කිරීමෙන් - ටැංකි වල මාළු ඇතුළු නිවසේ සුරතල් සතුන් දෙස බැලීමෙන්; කෙනෙකුට ලෝකය ගැන ඉගෙන ගත හැකිය - පරිසරය, සොබාදහම සහ ජීවිතය ගැන.

 

o   ඇතැම් විට සතුන් තුල මිනිසුන්ට වඩා කරුණාව හා කෘතවේදීතාව ඇතැයි සිතේ. සුරතල් සතුන් ඇති අයගෙන් විමසන්න - ඔවුහු ‘ඔව්’ යයි කියනු ඇත.

 

o   නිවසින් පිටව ගිය සුනඛයා සොරකම් කිරීමකට හෝ හදිසි අනතුරකට මුහුණ නොදුන්නේ නම්  අනිවාර්යයෙන්ම ආපසු සිය ගෙදර වෙත එනු ඇත.

 

o   අනතුරක් නොතිබුනේ නම්, නිවසින් පිටව ගිය සුරතල් පරෙවියා අනිවාර්යයෙන්ම නැවත ඔවුන්ගේ වාසස්ස්ථානයට පැමිණෙනු ඇත.

 

o   අසනීප වූ විට හෝ මහලු වූ විට නිවසේ සුරතලා පලවා හරින හෝ මරා දමන අය නපුරු මිනිසුන් වේ.

 

o   සතුන්ට අයුතු ලෙස සැලකීම, අතහැර දැමීම හෝ විවිධාකාරයෙන් මරා දැමීම කරන ඕනෑම අයෙක් දැඩි පව්කාරයෙක් වේ.

 

o   සත්තු අහිංසකය, සරලය, අව්‍යාජය, අසරණය. සතුන්ට බය නැතිව, සතුටින් ජීවත්වීමේ අයිතිය ලබා නොදන්නේ අප මිනිස්සුයි.

 

o   සුරතල් සත්වයා තමන් හදා වඩා ගත් ස්ථානයට ආදරය කරයි. එය ඔවුන්ගේ නිවස බව ඔවුන් දැනගත් පසු අපට උදව් කිරීමට විවිධ දේ කරනු ඇත. ඔවුහු ගෘහයේම  කොටසක් බවට පත්වේ. බල්ලා ආගන්තුකයන්ට බුරන්නත් පුසා මියන් අල්ලන්න පටන් ගන්නෙත් ඉන් අනතුරුවයි.

 

o   සුනඛයන් සොරුන්ගේ තර්ජන වලින් අවම වශයෙන් 75% ක් වත් අඩු කර දමයි. බළලුන් අනවශ්‍ය පළිබෝධකයන් ගැන බලා ගනී.

 

o   CCTV කැමරා පැමිණීමෙන් මින්සුන් බල්ලන් ඇතිකිරීම අඩු කර ඇති බවක් පෙනේ.

 

o   නිවසක් තුළ මාරාන්තික සර්පයෙකු මරා මිනිසුන්ගේ ජීවිත බේරාගත් බළලෙක් සිටියේය. තෙල් කරවලයෙක් මරා ගෙහිමියාට එය ආඩම්බරයෙන් පෙන්නු පුසෙක් කොළඹ ගෙදරක සිටියේය.

 

o   සතුන් අප සිතනවාට වඩා දක්ෂයි, බුද්ධිමත්ය. අපේ සුරතල් සතුන් නිතරම අපව තේරුම් ගැනීමට උත්සාහ කරති.  මේ සඳහා ඔවුන් නිරන්තරයෙන් අපව අධ්‍යනය කරති, අප ගැනම සිතති. අපි ඔවුන් කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බව නම් සත්‍යක් වේ.

 

o   බොහෝ සතුන්, සමහර විට සර්පයන් පවා අප සමඟ මිත්‍ර වීමේ අදහසින් අප නිවසට පැමිණේ. බොහෝ විට අපි ඔවුන් පලවා හරිමු හෝ මරා දමන්නෙමු.

 

o   නයාද හොඳ බුද්ධිමත් සතෙකි. නිකරුනේ මරා දමාන්න එපා. නයෙක් ගෙදරට ආ විට මරා දමනවාට වඩා වෙනත් ප්‍රදේශයකට (කැලෑවකට ) ගෙන ගොස් දමන්න. නයි අල්ලා ගෙන යන කෙනෙක් ඉන්නවා, ඔහුට ටෙලිෆෝන් කරන්න (076 415 0566)

 

o   අප සමඟ ආදරයෙන් බැඳී සිටින ඩොල්ෆින්වරු අපගේ ධීවර බෝට්ටු පසුපසින් අනුගමනය කරති; නමුත් අප ඔවුන්ව මරා දමා මසට ගන්නෙමු. හදවතක් නැත්තේ කාටද?

 

o   ගැරඬියෙක් ඔබේ මිදුලට පැමිණියහොත් ඔවුන් අසලට  භූමිතෙල් විසි කරන්න, එවිට ඔවුන් ඉවතට යනු ඇත. නමුත් කරුණාකර භූමිතෙල් තෙල් ඔවුන්ගේ සිරුරට විසි නොකරන්න - ඔවුන්ගේ සම පිලිස්සී යන නිසා. 

 

o   චිම්පන්සියන් සහ අපගේ DNA ඉතා සමාන වේ.

 

o   නිරෝගී එළදෙනෙක් දිනකට ගොම කිලෝග්‍රෑම් 12 ක් ලබා දෙයි.

 

o   සුරතල් සතුන් සොරකම් කිරීම අප රටේ දැන් ඉතා වැඩි වී තිබේ.  මේවා කිරීමට කිසි විටෙක කෙනෙක් දිරිමත් නොකළ යුතුය. සුරතල් සතෙකු අහිමි වීම කොතරම් වේදනාකාරීද කියා දන්නේ එම සුරතල් සතාගේ හිමිකරු පමණි. සොරාගත් බොහෝ සතුන් ඉක්මනින් මිය යන්නේ ස්වාමියා අහිමි වීමේ ශෝකය ඔවුනට දරාගත නොහැකි බැවිනි.

 

o   අහිංසක සතුන් වනාන්තරයේ සහ නිවසේදී ආරක්ෂා කිරීම පිළිබඳව අපගේ රජයන් මීට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. අපට නිසි නීති/ප්‍රමිතීන් නොමැති නිසා අහිංසක හා වටිනා සතුන් අපට අහිමි වී යයි. බොහෝ දේශපාලනඥයන් සිතන්නේ ඔවුන්ගේ සුඛ විහරණය ගැන පමණි.

 

o   කඳුකරයේ අපේ වටිනා දිවියන් ඉතා ඉක්මනින්ම වඳවී යනු ඇත. ඒ වතු ජනතාව නොයෙක් අයුරින් (වසදී, මඩු ගසා, වෙඩි තියා) දිවියන්ව මරා දමන නිසායි. අදාල බලධාරීන් නිදිද?

 

o   දේශපාලනඥයන් සතුන්ගේ සුභසිද්ධිය ගැන ගැන සැලකිලිමත් බවක් දක්වන්නේම  නැත - වනාන්තරයේ හෝ ගෘහස්ථයෙ සතුන්. සතුන් හට  ඡන්දය නොමැති බව ඔවුහු දනිති.

 

o   අහිංසක වන සතුන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය වඩ වඩාත් වැදගත් වෙමින් පවතී. බොහෝ විට වනජීවී නිලධාරීන් සතුන්ව බේරා ගැනීමට/ඔවුන්ට උපකාර කිරීමට පැමිණෙන විට වන අලියන්, දිවියන්, ගෝනුන් සහ මුවන් වැනි වන සතුන් මියගොසිනි.

 

o   මුවන් සහ වල් ඌරන් වැනි වන සතුන් මරා දමන අයට එරෙහිව නඩු පැවරීමට අපට නීති තිබේ; නමුත් ඔවුන්ගේ මස් හෝටල්වල පිස ආහාරය පිණිස තැබීම, මිනිසුන් ඒවා අනුභව කිරීමට එරෙහි නිතී අපට නොමැතිය. මෙය අපගේ  නීතියේ ඇති අඩුවකි.

 

o   දිවියා ඝාතනය කිරීම තහනම් නමුත් පුළුන් පිරවූ දිවියෙකු නිවසේ තබා ගන්නා වංශාධිපතියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවේ.

 

o   අවමංගල්‍ය කටයුතු වලදී මිනී පෙට්ටි අසල ඇත්දළ ප්‍රදර්ශනය කිරීම නැවැත්වීමට නීති හඳුන්වා දෙනු ලැබුවහොත් වඩාත් සුදුසුය. මෙම භාවිතයෙන් කිසිදු අරමුණක් ඉටු නොවන අතර එය අද සමාජයට සුදුසු ද නොවේ. ඇත්දළ සඳහා නිරන්තරයෙන් අලින් මරා දමනු ලැබේ. වනොධ්යාන වල ඉන්නා දල ඇතුන් පවා කොතෙක් වෙඩි තබා/wasa දී/හක්ක පටස් ගසා මරා දල දෙක පැහැර ගෙන යනවද?

o   වන අලි මිනිස් වාසභූමිවලට පැමිණීමෙන් සිදු කෙරෙන දරුණු අලි - මිනිස් සටනක් අද අප රටේ ඇත.  දශක කිහිපයක සිට මෙය ඉතා දරුණු තත්ත්වයට පැමිනෙමින් තිබේ.

 

o   අලි ඇතුන් තම ඉඩම්/භෝග විනාශ කරන බවට ගම්වාසීන් මැසිවිලි නගති. ඔවුන් කියන්නේ වන අලින් වනයට ආපසු පලවා හැරිය යුතුය කියාය. නමුත් අලි ඇතුන්ගේ වන ඉඩම් ආක්‍රමණය කර ඇත්තේ මේ මිනිසුන් විසින්මය. අලි ඇතුන් තවත් යා යුත්තේ කොතැනටද?

 

o   අලි - මිනිස් ගැටුම ඉතා දරුණු බවට පත්වුයේ මීට වසර 40කට පමණ පෙර ඇරඹි කඩිනම් මහවැලි යෝජනා ක්‍රමයට ස්තුතිවන්ත වෙන්නය. වනාන්තර හෙළි කලේ අක්කර ලක්ෂ ගණනින්.

 

o   මෙවැනි දැවැන්ත ප්‍රශ්නයක් (අලි - මිනිස් ගැටුම) තවමත් නිරාකරණය කර ගත නොහැකි වීමෙන් අපේ දේශපාලනඥයන් ඔවුන්ගේ නොහැකියාව කදිමට ලොවටම නිරුපනය කර තිබේ.

 

o   අලි කොරිඩෝවන් අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතින්නාවූ දේය. අලි ඇතුන් විසින් අප විසින් සාදන නව අලි කොරිඩෝ භාවිතා කිරීමට පටන් ගනී යැයි අප අපේක්ෂා කිරීම මෝඩකමකි.

 

o   වනජීවී උද්‍යෝගිකයෙකු මෙම ලේඛකයාට පැවසුවේ අද වනාන්තරයේ වෙසෙන සෑම වැඩිහිටි අලියෙකුම පාහේ වෙඩි තැබීමේ තුවාලයක් සහිතව ගමන් කරන බවයි. මෙය ජාතියක් වශයෙන් අප ලජ්ජා විය යුතු දෙයකි.

 

o   ඇතින්නක් තම පැටියාට දුන් උවදෙස - ‘මිනිසයි කියනා දෙපා සතාගේ ලඟින් ගියත් ඇති පොඩි  පුතුනේ ....‘ (ඇත් ගාලේ දරුපෙම, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)

 

o   අලි වැට අඩු ධාරිතාවයකින් යුත් විදුලි රැහැනකින් (වෝල්ට් 110) විය යුතුය. වෝල්ට් 230 ක රැහැන් මඟින් අලි ඇතුන් විදුලි සැර වැදී මැරී ඇති බව මෙම ලේඛකයා අසා තිබේ.

 

o   මනම්පිටිය රෝහලේ කසළ අලි වනාන්තරයක් අසල දමන බවට ප්‍රවෘත්ති පලවී තිබුණි. ඒ කුණු අතර ලේ පෙගුනු වෙළුම් පටි, ඉන්ජෙක්ෂන් සිරින්ජර්, හිස් බෙහෙත්/සේලයින් බෝතල් ඇතුළත්ව තිබී ඇත. මේ නිසා එම ප්‍රදේශයේ අලි ඇතුන් මියගොස් තිබේ. ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ද්‍රව්‍ය ඔවුන්ගේ බඩවැල්වල අඩංගුව තිබු බවයි.

 

o   වනාන්තරයේ ජීවත්වන අලි පැටවෙකු කිසි විටෙකත් මවගේ භාරයෙන් පැහැර නොගනු ඇතැයි අපි ප්‍රාර්ථනය කරමු.

 

o   අලි ඇතුන්ට ආදරය කළ සුදු ජාතිකයෙක් දකුණු අප්‍රිකාවේ වනාන්තරයක් මැද පිහිටි නිවසක ජීවත් ව මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යට අලි 50 කට අධික පිරිසක් සහභාගී වී තිබුනාලු.

 

o   නැදුන්ගමුවේ ඇත් රජු නීලම්මහර පන්සලට හම්බෙච්ච ඇත් පැටියා.

 

o   නුවර පෙරහරට යන ගමන් මගේ යාළුවෙකුගේ වත්තේ පැය තුනක් විතර නතරවෙලා හිටියා ඇත් රජු. එදා මට කළු මාමා හම්බ උනා.

 

o   කළු මාමයි නැදුන්ගමුවේ ඇත් රජුයි දෙදෙනාටම පයින් ගමන් කිරීමේදී මහන්සිය දැනෙන්නේ නැහැල්ලු; දළදා සමිඳු පිහිටෙන් ඒ

 

o   මඩකලපුව - කොළඹ දුම්රිය දිගින් දිගටම අලි ඇතුන් වෙත පිවිසීමෙන් පෙනී යන්නේ මෙම වැදගත් ගැටළුව විසඳීමට අප තදින්ම අපොහොසත් වී ඇති බවයි. අලි ඇතුන් රාත්‍රීයේ දුම්රිය මාර්ගයට පිවිසෙන්නේ උණුසුම සහ නැවුම් වාතය ලබා ගැනීම සඳහායි.  මෙම සමහර ප්‍රදේශවල පුරාණ අලි කොරිඩෝ (අලි මාර්ග) ඇත. පැයට කිලෝමීටර 5 ක වේගයෙන් හෝ මෙම ප්‍රදේශවල දුම්රිය ධාවනය කරවා  මෙම අලි මරණ නතර කර ගත හැකි වේද?

 

o   සමහර මඩකලපුව - කොළඹ දුම්රිය රියදුරන් උවමනාවෙන් දුම්රියට අලින් යට කරන් යනවද? රියදුරන්ගේ හිස්ට්‍රි එක සොයා බලන්න.

 

o   අලි පැටවුන් මඩකලපුව - කොළඹ දුම්රියට හසු වූ විට, දිවි ගලවා ගත් වැඩිහිටි අලි ඇතුන් එම ස්ථානයේ රැඳී සිටිමින් දින කිහිපයක් විලාප තැබූ බවට පුවත්පත් වාර්තා පලවී තිබුණි.

 

o   “මම කිසියම් වැරැද්දක් කර ඇත්නම් සමාවෙන්න දෙවියනේ. මාව මරන්න එපා. මට දරුවන් තිදෙනෙක් සිටිනවා. ළමයින් පාසලෙන් නිවසට පැමිණ මා සොයා නොගත් විට ඔවුන් ද සාගින්නෙන් මිය යනු ඇත”. මේ මවක් අලියාට හයියෙන් කිවූ දෙයක්. එහෙත්, පුදුමයට කරුණක් වුයේ ඇගේ මුවින් වචනයක්වත් පිට නොවීමයි. ඇයට කළ හැකි වූයේ අලියාගේ දෑස් දෙස බලා සිටිමින් ගැඹුරු සිතුවිල්ලකට යාම පමණි.

 

අලියා කාන්තාවගේ ඇඟ උඩින් තබා තිබු සිය කකුල ඉවතට ගත්තාය.  මිනිත්තු 2 ක් පමණ අලියා ද කාන්තාව දෙස බලා කල්පනා කලාය. ඇයව පාගා දැමීම පිණිස නැවතත් කකුල ඔසවා, එය කාන්තාවගේ ඇඟ මත තැබුවාය. කාන්තාව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්, එහෙත් අත්දෙක එකතු කර අලියාට නැවත වැන්දාය. අලියා ඇගේ කකුල පසෙකට ගෙන, කකුලෙන් දුහිවිලි අවුස්සා, සෙමෙන් කාන්තාවගෙන් ඉවත්ව ගියාය. 

 

‘ඔබ විසින් මරා දැමූ මගේ දරුවන්/නෑදෑයින් /මිතුරන් කොපමණ නම් ඇද්ද?  - කෲර, නපුරු මිනිසුන්’; ඒ ඇතින්න එම කාන්තාව දෙස විනාඩි 2ක් තිස්සේ බලමින් සිතුවේ මෙය නොවේද?

 

ඒ ශ්‍රේෂ්ඨ අලියා කාන්තාව නොමරා, ඇගේ ජීවිතය බේරා දී යාමෙන් අපට ඉගැන්වුවේ ඉතා කදිම පාඩමකි.

 

(නම්, ස්ථාන ප්‍රබන්ධනාත්ම විය හැක)

 

උපුටා ගැනීම - ‘හොඳ උවදෙස් 1’– කර්තෘ: චානක බණ්ඩාරගේ, KKN ප්‍රකාශන, කොළඹ 8  (arwdc@bigpond.com), පිටු: 155  – 164.

 

 
 
 

Recent Posts

See All
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (8වෙනි කොටස)Posted on December 26th, 2022

චානක බණ්ඩාරගේ පිරිමින්ගේ ආර්ය සිංහල ඇඳුම තුරන් වී යාම සහ ‘කාන්තාවන්ගේ සාරිය ගැලවීමේ’ දැඩි උවමනාව අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල ජනයා වැදගත් අවස්ථාවකට ඇන්දේ ආර්ය සිංහල ඇඳුම සහ සාරියයි. එනම් පිරිමින්

 
 
 

Comments


bottom of page