අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025
- chanakab4
- May 29
- 14 min read
චානක බණ්ඩාරගේ
ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි.
අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසයි. දන්නා දේට වඩා නොදන්න දේ බොහෝයි. වැරදෙන එක පුංචි දෙයින් ඔයාගේ ලස්සන මුළු ජීවිතේම අඳුරු කරන්න පුළුවන්. එදාට ළඟ ඉන්න යාළුවන් කවුරුත් නැහැ, තමන්ට තමන් විතරයි.’
දරුවන්ට කන්න දෙන්න, උගන්වන්න දෙමව්පියෝ මොනතරම් දහදුක් විඳිනවද?
දෙමව්පියන් සැම විටම දරුවන්ට ආදර්ශයක් විය යුතුයි.
දරුවන් නොමඟ යා හැකි නරක/වැරදි වැඩ නොකර සිටීමට දෙමව්පියන් ඉතාම ප්‍රවේශම් විය යුතුයි.
1940, 50, 60 දශකවල උපන් වැඩිහිටියන් ඉතා හොඳ ජීවිත අද ගෙවති. ඒ, ඒ අය බාලවියේදීම යහමග යැවීම නිසාය. ඒ අය දැන් වැඩිමහල්/මහළු වියේදීත්, හොඳ, හරි දේම කරයි.
දරුවෙකු වැදු පළියට හැමෝම හොඳ අම්මලා තාත්තාලා නෙමෙයි.
දරුවන් බිහිකිරීම හොඳයි, නමුත් එයම මදි. ඒ දරුවන් ලොකු වෙනතෙක් හොඳින් බලාගෙන රටට වැඩදායක හොඳ, ගුණ ගරුක පුරවැසියන් හැටියට සමාජයට කල එලි බැස්වීමද ඒ දෙමව්පියන්ගේ යුතුකමක්.
තමන්ගේ ළමයා එක්ක පැය භාගයක් ගතකරන්නේ නැති කාන්තාවෝ රූපලාවන්‍යාගාර ඇතුළේ පැය ගණන් ගත කරන බව අහන්න ලැබේ.
පියා අනුකරණය කරමින් මත්පැන් පානයට, දුම් පානයට කුඩා දරුවන් ලොකු වූ පසු යොමුවේ; මෙය අද වෙනදාටත් වඩා තදින් සිදුවේ.
හොරණ පැත්තේ ගල්කඩන බාස් කෙනෙක් සිටියේය. ඔහු තමුන්ගේ අවුරුදු 16 ක විතර පුතාට කියා කසිප්පු ගෙන්වා ගත්තා. ටික කාලයක් යනකොට මේ ළමයාත් බොන්න පුරුදු විය. ගමේ අය මොහුට සුදු පරෙවියා කියා නමකුත් දැමුහ. දිනක් පුතාට සල්ලි නැතුව තාත්තාට ගෙනෙන දේන් ටිකක් මගදීම බී, මදි හරියට වෙලෙන් වතුර ටිකක් දමාගෙන ගියේය. තාත්තා කසිප්පු ටිකක් බී ‘ඈ බොල අද බඩු හොද නැහැ නේ’ කීය. ‘ඔව් බොල මාත් බීලා බැලුවා’ කියා පුතා කීය. දැන් ඒ තාත්තයි පුතයි දෙන්නම පරලොව.
කළගුණ සැළකීමක් දරුවන්ට කුඩා කල සිට පුරුදු කල යුතුයි.
1940, 50, 60 කාලේ ළමා කාලයට අනුරූපව ළමයින් හදන්න අද බැරිය, සම්පුර්ණයෙන්ම වෙනස් සමාජයක්.
දැන් ළමුන් හරිම බුද්ධිමත්ය. ඒ අයට තොරතුරු ලැබෙන මාර්ග ගොඩක් තිබේ. ඒවා ගැන දෙමාපියන් අවබෝධයෙන් සිටිමෙන් තම දරුවන් යහපත් ගමනාන්තයකට යොමු කරන්න පුළුවන. මේවා නොදැන සිටිම ඔවුන්ගේ අනාගතය අදුරු විමටත් බලපානවා.
හොඳ පාසල් සඳහා තරගය වැඩිවිමටත් එක් හේතුවක් වන්නේ ළමයින් අතර ඉගෙනීමට තිබෙන තරගයයි. මේ තරගයට සමහර ළමුන් සුදානම් නැත. ඔවුන් එය දකින්නේ කරදරයක් විදියටය. එය ළමුන්ට ප්‍රශ්න ඇති කිරීමකි.
පන්තියේ ටිචර්ගේම හවස පන්ති. අමතර පන්ති. හවසට ළමයා ගෙදර ආපුවම ගෙදරදී කරන්න දීලා තියන හෝම්වර්ක්. බලෙන්ම හරි ළමාකාලය සෙල්ලමට සහ විනෝදයට දාන දරුවෙක්, අන් සෑම දෙනා අභිබවා ඉදිරියට යයි.
පිරිමි ළමුන්ව ක්‍රිකට් ක්‍රීඩාව වෙත යොමු කරන්න. ඉතාම හොඳ ක්‍රීඩාවක්. ඒ වගේම, කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳව උගන්වන ක්‍රීඩාවක්. රගර්, පාපන්දු හොඳයි; හැබැයි සිරුරේ ඇතිවෙන අස්ථි/මාංස පේශි කැඩුම් බිඳුම් වැඩියි. ටෙනිස්, පිහිනුම් ඉතා හොඳයි, නමුත් සාමුහික ක්‍රීඩාවක් නොවේ.
ගැහැණු/පිරිමි ළමයි දෙකොට්ටාශයටම හොඳයි ක්‍රිකට්, සොකර් (පාපන්දු), පිහිනීම, බාලදක්ෂ. ගැහැණු ළමයිනට විශේෂයෙන්ම හොඳයි නෙට්බෝල් සහ හොකී. ලැබෙන ප්‍රථිපල අනර්ගයි. ඉස්කෝලේ ටීම් එකට ඉන්නම ඕන නැහැ, ළමයි අතර සෙල්ලම තුලින් කණ්ඩායම් හැඟීම් ඇති වෙනවා.
බොක්සිං හොඳ ක්‍රීඩාවක් නොවෙන්නේ එයින් මොලයේ ආබාධ පසු කාලයකදී ඇතිවිය හැකි නිසාම පමනක් නොවේ, එහි තිබෙන ‘විෂම ’ භාවය ද නිසායි.
සමහර දෙමවුපියෝ කියන කතාවක් – ‘දැන් කාලේ ගැහැණු ළමයෙක් පරිස්සම් කරනවට වඩා අමාරුයි කොල්ලෙක්ව පරිස්සම් කරන එක’ කියලා.
දරුවෝ තමන්ගේ පැත්තට හරවා ගන්න, දරුවෝ අතර බෙදීම් ඇතිකර ජීවත්වෙන්න හදන දෙමවුපියෝ නරුමයෝ .
කුඩා කල ආදරයෙන් දුව පැන සෙල්ලම් කරන සහෝදර සහෝදරියෝ වැඩිමහල් වී සමාජයට ගිය පසු බොහෝ විට විරසක වෙත්. ඉතාම කනගාටුදායක තත්ත්වයක්. බොහෝ විටම මේ විරසක වීම ඇතිවන්නේ දේපල බෙදා ගැනීම සම්භන්දයෙන්. වැඩිහිටි දරුවන් අතර අසමගිය වැපිරීමට බොහෝ දෙමව්පියන් ඍජුවම හෝ වක්‍රව දායක වෙනවා. ඒ අඥනාවන්ත සහ ආත්මාර්ථකාමි දෙමව්පියෝ.
ලංකාවේ මේ සිදුවෙන දේ දියුණු බටහිර රටවල සිදු නොවේ හෝ ඉතාම අඩුයි.
දරුවාට තාත්තා කෙනෙක් ඕන නැහැ කියා සිතන අම්මලා ආත්මාර්ථකාමිය.
මොන්ටිසෝරියේ ඉඳලම දරුවන්ට සාරධර්ම උගන්නලා, රටට ආදරය කරන්න උගන්වලා, දෙමාපියන්ටත් ග්‍රාමිය මට්මමින් වැඩමුළු තියලා පන්සල් පල්ලි එකතු වෙලා සමාජය සාරධර්ම වලින් පෝෂණය කල යුතු කාලයක් මේ.
සහජයෙන්ම ළමයි බොරු කියන්න කැමති නැහැ. ඒ අයට බොරු කියන්න උගන්නන්නේ දෙමව්පියෝ/වැඩිහිටියෝ. ගොඩාක් ළමයි මුලින්ම කියන ලොකුම බොරුව තමයි පාසලේ 1වැනි වසරට ඇතුල්කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී තමන් ජීවත්ව ඉන්නේ පාසලට හැතැප්ම 2ක් ඇතුලත වූ ලිපිනයක් තිබෙන නිවසක බව. මේ බොරුව ඔප්පු කරන්න ඒ පොඩි ළමයාට තව බොරු 50ක් විතර උගන්නනවා.
බොරුවට පුරුදු වූ ළමයාගෙන් ගන්න දෙයක් නැහැ. හොඳ පුරවැසියෙක් වෙන්න බැහැ.
දෙමව්පියන් අතර ප්‍රශ්න වලදී ළමයි අතකොළු කරගෙන, බොරු කියන්න උගන්වනවා.
ළමයි කුඩා කල සිටම, ලොකුවී ජිවිතයේ දුක්, කරදර, බාධක කම්කටොළු වලට මුහුණ දිය හැකි අයුරෙන් හදන්න . ඉල්ලන ඉල්ලන දේ දෙන්න එපා. ආදරේ උනත් පමණට වඩා; සැප, පමණට වඩා දෙන්න එපා.
මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්, පාසල් යන වයසෙහි දරුවන් හා නව යොවුන් දරුවන්ගෙන් වැඩිදෙනකු මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
ළමයා ඉල්ලනදේ දුන්නට කමක් නැහැ, ළමයාට ඔබ වහල් විය යුතු නැහැ. නායකයා ඔබ බව දරුවා දැන ගත යුතුයි.
ළමයිට ගස් ගල් වගේ සලකන්න එපා. ආදරය පෙන්වන්වන්න ඕන. ළමයින් ඉඹලා, ආදරයෙන් ඔලුව අත ගාන්න. ‘මගේ රත්තරන් පුතා’, ‘මගේ රත්තරන් දුව’ ආදී වශයෙන් අමතන්න.
අඩුතරමින් ඉඳලා හිටලවත් ආදරය නොදීපු ළමයෙකුගෙන් දෙමව්පියන් පසුව ඒ ළමයින්ගෙන් ආදරය බලාපොරොත්තු වීම අසාධාරණයක් විය හැකියි.
සමහර දෙමව්පියෝ ළමයි හදනවා බලන් ඉන්න ආසයි. ඒකත් කළාවක්. ඒ දරුවෝ අඬනවත් අඩුයි.
රට පිළිගත් උගතෙක් කියූ කථාවක් – ‘මම හැදී වැඩුනේ 70/80 දශකවල. අපට කෑමෙන්, බීමෙන් නම් අඩුවක් තිබුනේ නම් නැහැ, නමුත් දෙමව්පිය සෙනහසේ/ආදරේ අඩුවක් තිබුනා. තාත්තයි, අම්මායි නිතරම රණ්ඩු උනා. පුංචි අපි ඉස්සරහා තාත්තා අම්මාට ගහනවා; අම්මාගේ හරිම කට සැරයි. කිසිම ආදරයක් නොලැබුන ඒ ගෙදර අපාය වගෙයි. කොයි වෙලෙත් මම බැලුවේ ගෙදරින් පිට ඉන්න. තාත්තයි, අම්මායි සතුටින් නොවේ සිටියේ, නමුත් පවුලේ ’දක්ෂ’ සමහර සහෝදර සහෝදරියන්ට ඒ දෙන්නා විශේෂ වරප්‍රසාද, දුන්නා, මුදල් හදල් යහමින් ඒ අය වෙනුවෙන් වියදම් කළා. හැබැයි මම වැරදි මාවතේ යනවද කියලා ඒ අය සොයා බැලුවා. පසු කාලයේ දී (ඒ අය වියපත් වුනාහම) වැඩියෙන් සොයා බැලුවේ මම; මගේ බිරිඳ ඒ අයගේ දුවලාට වඩා හොඳයි කියා කියා තිබුනා.’
ගැටවර විය පසුකල ගැහැණු සහ පිරිමි දරුවන්ට පුංචියට හෝ කෑමක් උයා ගන්න පුරුදු කරන්න.
බොරුවට අඬන ළමයා අඬන්නේ හරි විනයක් නැතිව හදලා තියෙන නිසායි.
ආරවුලක් දුරදිග ගිහිල්ලා ක්‍රිකට් පුහුණු පිටියේදී දරුවාට ක්‍රිකට් බැට් එකෙන් ගහලා මරපු තාත්තෙක් හිටියා, අම්මා ඉස්සරහදි. ඒ මෘගයා අද සිරගෙයක සිරබත් කනවා.
පොඩි දරුවන්ට පුදුම මානසික අසහනයක් තියෙන්නේ, මීට අවුරුදු 30 -40 ට එහා එක්ක සංසන්දනය කරද්දී . හරියට නොහදන නිසා සහ සමාජය කුරුවල් වීම නිසා.
අද කාලේ ගොඩක් දෙමාපියන් ළමයින්ට බයේ ජීවත් වෙන්නේ. ඉල්ලන ඉල්ලන දේ දෙනවා.
කුඩා කාලේ ඉඳලා කීකරුකමට ගුනයහපත් කමට හදා ගත්ත දරුවෙක් රටටත් වාසනා.
මෝඩ අහංකාර ළමයින්ගෙ මෝඩ තීරනවලට දෙමව්පියන් හිස නැමීම නිසා පවුල් පිටින් අමාරුවෙ වැටිලා තියෙනවා. ඒ ළමයි ලොකු වෙලා බැන්දහම තව අසරණ අය අමාරුවේ වැටෙනවා විතරක් නෙවි ඒ අය රටටත් බරක්.
තේ එකක් හදන්න, කොස්ස අරං උස්සලා අතු ගාන්න වත් බැරි දරුවෝ බැඳලා පවුල් ජිවිත අවුල් කරගන්නවා. දෙමව්පියෝ මේවාට වග කියන්න ඕන.
පොඩි කාලේ සැම දේටම ඉතා දක්ෂ ළමයා/ළමයි දෙමව්පියන්ගේ සුරතුලුන් වෙනවා. බොහෝ විට අන්තිම කාලෙට දෙමවුපියන්ට සලකන්න ඉන්නේ ඒ අය විසින් අඩුවෙන්ම සැලකුම් ලබා දුන් ළමයා හෝ ළමයින්.
දරුවන් අනිවාර්යයෙන්ම සිටිය යුත්තේ පාසැලෙයි. ගෙවල්වල දරුවන්ව වැඩකාර කමේ යොදවන හාම්පුතුන්ට දැඩි දඬුවම් නියම කල යුතුයි.
සමහරු හිතන්නේ ‘අපි පොඩි කාලේ විඳපු දුක් ළමයින්ට විඳින්න ඉඩ තියන්න හොඳ නැහැ’ කියලා ඉල්ලන හැම දේම දෙනවා. හරියට හැදුවේ නැත්නම් බිහි වෙන්නේ අකීකරු, මුරණ්ඩු, හැමවිටම අඬන ලමයෙක්.
අනාථ සිංහල දරුවන් සඳහා මන්නාරමේ අනාථ නිවාසයක් ගොඩ නැඟෙනවා, එහි මෑතකදී යළි විවෘත වූ සිංහල මහා විද්‍යාලයට සමගාමිව. මේ උතුම් කර්තව්‍යයට සම්බන්ධ වෙන්න කැමති නම් මේ නොම්මරය අමතන්න: 070 459 0227.
හුරතලේටම හදපු ළමයා මේ ‘දුෂ්ශීල’ සමාජයට ගොඩ බට දාට අතරමං වෙනවා.
දියුණු බටහිර සමාජය ළමයා හම්බ වෙච්ච ගමන් වෙනම කාමරයකට දානවා, දෙමව්පියන් සමඟ නොවේ වෙනම කොටු ඇඳක්. ළමයි පොඩිම කාලේ ගෙනිහින් වතුරට දානවා පීනන්න ඉගෙන ගන්න.
කොච්චර තිබ්බත් ඒ ගොල්ල ලමයින්ට ඉල්ලන සෑම දේම දෙන්න නැහැ. ඒ ළමයි වැඩිහිටියෝ උනාම ස්වාධීනව ඉන්න පුරුදු වෙලා ඉවරයි.
පොඩි කාලෙම හොඳ පන්නරයක් ගෙදරින්ම ලබා දීලා. ගස්, ගල් වගේ ඕන ප්‍රශ්නයකට සිනහා වී දක්ෂ ලෙස මුහුණ දෙනවා. ප්‍රශ්ණ ආවහම අපේ ළමයි වගේ අඬන්නේ නැහැ.
සමහර පුංචි කාලේ කොන්වෙලා මුළු ගැන්විල්ලා හිටපු දරුවෝ අර දෙමව්පියෝ විශේෂ සැලකිලි දක්වපු එම පවුලේ දරුවන්ට වැඩිය සමාජයේ උඩට එනවා. ඒ දරුවෝ දුක් කම්කටොලු ඒමට අත්විඳ තිබෙන නිසා අන් අයට වඩා සමාජශිලිව මුහුණ දෙනවා. බොහෝ විට ඒ අය පවුලේ අන්තිමට හම්බවෙන ළමයි.
ළමයින්ට ආදරය, කරුණාව දක්වන්න බැරි නම් හදන්න එපා.
දරුවෝ හදන කොට හැම දරුවාටම එක විදියට සලකන්න පුරුදු වෙන්න. අතේ ඇඟිලි පහ එක වාගේ නැහැ, දරුවොත් ඒ වාගේ තමයි. හැබැයි එක දරුවෙකුට විශේෂ සැලකිලිත් අනිත් අයට කුඩම්මාගේ සලකිලිත් දැක්වීම සුදුසු නැහැ.එහෙම කරන්නේ මෝඩ දෙමව්පියෝ.
දෙමව්පියන්ගේ ප්‍රශ්නවලදී ඇතිකරගන්නාවූ කැළැල් හයක් හතරක් නොතේරෙන දරුවන්ටද බලපාන බව වැඩිහිටියෝ අමතක නොකළ යුතුයි.
‘මගේ දරුවා දොස්තර කෙනෙක්ම කරමි’ කියා සිතන්නේ නැතිව දරුවාගේ දක්ෂතා හඳුනා ගෙන ඒ මාර්ගයේ යවන්න. ඉතිහාසය, සමාජ අධ්‍යනයට දක්ෂ දරුවා බලෙන්ම දොස්තරකෙනෙක්, ඉංජිනේරුවෙක් කරන්න හදන්නේ මෝඩ දෙමව්පියෝ. රවුම් කොටුවක් තුලට හතරැස් ලීයක් දාන්න හදනවා වගේ.
ඉඩකඩම්, වස්තුව බෙදා දෙන විට දෙමවුපියන් ඉතා බුද්ධීමත්, පරික්ෂාකාරී සහ සාධාරණ විය යුතුයි. ඔවුන්ගේ අමන, මෝඩකම් නිසා දු පුතුන් සදාකාලික බද්ධ වෛරක්කාරයන් බවට ඉතා ලෙහෙසියෙන් පත්විය හැකියි. එවැනි අවස්ථා බොහෝ පවුල් වල දක්නට ලැබෙනවා. මෙය ඉතා ශෝචනීය තත්වයක්, ආදරයෙන් හැදු, වැඩු දු දරුවන් දේපල නිසා තරහ වීම.
ආදාළ නීතිමය ලියවිලි සම්පුර්ණයෙන්ම නිත්‍යානුකුල ලෙස, තම උපදෙස් ප්‍රකාර ඒ අයුරින්ම සැකැසි ඇද්දැයි පරික්ෂා කර බලන්න.
ආසාධාරණයක් වී ඇතැයි සිතන දරුවන්ට කරුණු පහදා දිය යුතුයි, අසාධාරණයක් සිදු නොවී ඇතැයි කියා.
ගෙදර දොරේ පුංචි රෙපයාර් වැඩ ළමා වයසේදීම කරන්න පුරුදු කරන්න, අවශ්‍ය ආයුධ මෙවලම් ලබා දෙන්න. ඉදිරියේදී මේසන්, වඩු, පයිප බාස්ලා ඉතා මිල අධික වෙනවා. මේ වැඩ දන්නා දරුවා වැඩිහිටියෙක් වූ විට එයා සමාජය ජය ගන්නවා.
යන්තම් බතක් උයන්න්නවත් දොනියන්දෑව කුස්සියට වද්දා ගෙන නැති අම්මලා ඉන්නවා.
බොහෝ දෙමළ දරුවන් සිංහල දන්නවා; ඒත් සිංහල දරුවෝ කී දෙනාද දෙමළද දන්නේ? භාෂා දෙකම චතුර ලෙස කථා කිරීමට අනාගත පුරවැසියන්ට හැකි නම් එය රටේ සංහිඳියාව ඇතිකිරීම සඳහා මහත් ඉවහලක් වනු ඇත. අනාගතයේදී රජයේ රැකියාවක් ලබා ගැනීමේදී භාෂා දෙකම කථා කිරීමට හැකි අයට මහත්වූ ගැම්මක් ලැබෙනවා, එසේ බැරි අයට එදිරිව.
විදෙස් භාෂා ඉගෙන ගන්නවා නම් ළමයින්ට චින භාෂාව, හින්දි භාෂාව උගන්නන්න. මේ 21 සියවස, චීන සහ ඉන්දීයයන් විසින් මෙහෙයවන සියවසක් ලෙසයි සලකන්නේ, විශේෂයෙන්ම, චීන.
දැන් ඔය ෆ්‍රෙන්ච්, ස්පැනිෂ්, ජැපනීස්, උගන්නලා එච්චර වැඩක් නැහැ. ඒ කාලේ පැනලා.
හරි දේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් දැනගෙන, නිවැරදි ලෙස මේ මහා පොළෙවේ අඩිය තියා ජීවත් වීමට කුඩා කල සිට දරුවන් ගේ මනස නිර්මාණය කල යුතුයි.
කවදාවත් දරුවන්ට බොරු කියන්න උගන්නන්න එපා. පුරුදු උනොත් එයා උපන් ගෙයි බොරු කාරයෙක් වෙනවා.
පුංචි සිත් තැලෙනවා. සමහර තැලීම් සදාකාලිකයි. පොඩි කාලෙම මානසික රෝගීන් වෙච්ච දරුවෝ ඉන්නවා දෙමව්පියන්ගේ නොසැලකිලිමත් කම, අප්‍රවේශම් බව සහ උවමනාවෙන්ම සිත් රිදවිම වැනි කරුණු නිසා.
එවැනි දරුවන් ලොකු උනාම දෙමව්පියන් ඒ දරුවන්ගෙනුත් උපරිමවම දේ බලාපොරත්තු වෙනවා, තමන් කරපු නොසැලකිලිමත් දේ මතක නෑ වගේ.
කුඩා දරුවෙක් ලිංගිකව හෝ වෙනයම් අයුරින් අපයෝජනය කලොත් එය ජිවත්වනා තුරාම ඒ කෙනාට තදබලම අපයෝජනයකි.
ගැහැණු දරුවෝ අපයෝජනය කල තාත්තාලා ගැන දැන් ඇහෙන්න ලැබෙනවා, ඉස්සරනම් මේ දේවල් සිද්ධ වුනේම නැහැ වගේ. හැම තාත්තෙකුටම හොඳ තාත්තෙක් වෙන්න බැහැ කියනවනේ.
මව්පියන්ගේ ආරක්‍ෂාව, රැකවරණය`, හව්හරණය නොලැබුණු දරුවෙකු බොහෝ විට ‘නරකාදියට’ වැටෙනවා.
දෙමාපියන් දෙදෙනාගේ විරසක වීම් පුංචි දරුවන්ගේ ජීවිත විනාශ කරන සමහරවිට මහ පාරට ඇද දාන තරමට තෝතැන්නක්.
හොඳ, සාර්ථක, සක්‍රිය පවුලක දෙදෙනාගේ අදහස් මුසු කර නිවැරදි, බුද්ධිමත් තීරණ ගෙන ඉරිදියටම, උඩටම යනවා. වැඩිහිටි, බුද්ධිමත් දරුවන් නම් ඒ අයගේ අදහස් විමසා ඒවාටද ගරු කරනවා. මේ පවුල් ලේසියෙන් වැටෙන්නේ නැහැ.
එකිනෙකාට ගරු නොකරන, නිතර සන්ඩු කරන අක්‍රිය පවුල් වලට හැමදාම බහින කලාව. ඒවා හැදෙන පවුල් නොවෙයි, පාරටම ඇද ගෙන වැටෙන්නත් පුළුවනි. ළමයින්ටයි මහාම කරදරේ.
සමහර දෙමව්පියන් තමාව කාන්දමක් කරගෙන, ළමයින් තමන් වෙත වෙන වෙනම ආකර්ෂණය කර ගන්න නොයෙක් උපක්‍රම යොදනවා. මෙය බොහෝ විට සිදු වන්නේ දෙදෙනා අතර අඩ දඹර ඇති දෙමව්පියෝ. මෙය ආත්මාර්ථකාමී, හොඳ නැති දෙමව්පියෙක් කරන දෙයක්.
හොඳ දෙමව්පියෙක් තමන් ටෝච් එකක් වී ඒ එලිය සියළු ළමයින් වෙත විහිදුවනවා. දරුවාව ටෝච් එකක් කරලා එහි එලිය තමන් දෙසටම අල්ලන්න කියන දෙමව්පියෝ හොඳ දෙමව්පියෝ නොවෙයි.
සමහරු කියනවා අද කාලයේ සමහර දෙමව්පියොත් විශ්වාස කරන්න බැහැල්ලු. ඒ කථාව කෙසේ වෙතත්, වැඩිදුර, බුද්ධිමත්ව කල්පනා නොකර කරන දේවල් නිසා ළමයින්ට විශාල අවැඩ සිදුවෙන වැඩ කරන දෙමව්පියෝ නම් ඕන තරම් ඉන්නවා.
සාමාන්‍යයෙන් පොඩි දරුවෝ ඉන්නකොට පවුල කැඩෙන්නේ නැහැ, රැකෙනවා. දරුවෝ හදන්න, හැම දේටම හොඳයි.
ලංකාවේ දැන් උග්‍ර කුඩා දරුවන්ගේ හිඟයක් තියෙනවා – තරුණ තරුණියෝ බඳින්නේ නැහැ. ඩිවෝසුත් වැඩියි. තව අවුරුදු 25කින් මේක මහළු සමාජයක්.
මේ ලෝකේ තියෙන ලොකුම සැපත දරු සුරතල් බලන්න ලැබීම.
වැඩිහිටියන් කිහිප දෙනෙක් තම ළමා කාලයේ අත්දැකීම් (රස කථා) විස්තර කලේ මෙහෙමයි:
තාත්තා කිරි කන්න ගිහින් පැණි බෝතලේ අරගෙන,’කවුද දරුවනේ මේ පැණි බෝතලේ ඉවර කළේ’ කියලා ඇහුවා. අපේ චුටි නංගි අපි කාටත් කලින් දුවලා තාත්තා ළගට ගිහින් කියනවාලු, ‘මං නම් පැණි කෑවේ නෑ තාත්තේ’ කියලා. කියලා තියෙන්නේ ගවුමෙන් කට පිහදමමින්.
මම ගැටයා කාලේ (ඒ කියන්නේ මීට අවුඋදු 35ට විතර එපිට) බඩල්කුඹුරේ පන්සලකට අයිති හේන් ඉඩමක ගොවිතැන් වැඩ කළා. රෑට සතා සීපාවා එලවන්න කෑ ගහලා සී පද කියනවා. දවසක් රෑ ගහ උඩ පැලේ ඉන්නකොට කුනකටුවෙක් කකුල හපලාල මම බිම ඇද වැටිලා කෑ ගහනවා. ලොකු හාමුදුරුවෝ කිව්වා මෙයාව මොණරාගල රෝහලටම ගෙනි යන්න කියලා. බකමුන රෝහලේ ඇම්බියුලන්ස් එකෙන් මාව මොණරාගල රෝහලට ගෙනාවේ. ඒ ඩ්‍රයිවර් ඇම්බියුලන්ස් එක එලෙව්වා නොවෙයි ඉගිලෙව්වා. ඇත්තම කියනවා නම් එතුමා හින්දායි මගේ ජීවිතය බේරුනේ. ගහට ගහක් මොරටුවේදී හම්බවෙනවා කිවාක් මෙන්, ඊට අවුරුදු 14ට පස්සේ මට එතුමාව හම්බවුනා බිබිලේ හොටලයකදී – මිනිහා එතකොට පෙන්ෂන් ගිහිල්ලා. මම එතකොට එතන ප්‍රධාන කොත්තු බාස්. ආසාවේ වැඩි කමට මම කොත්තු කොටන හැන්දෙන් කොත්තු දෙකක්ම දාලා දුන්නා, පාර්සල් කරලා ගෙනියන්න.
ඒ දවස්වල ඉරිදාට අපි බ්‍රව්න්ස් බීච් යනවා බුෆේ කන්න, මුළු පවුලත් එක්කම. දෙමව්පියෝ යන්නේ ඒ ගොල්ලන්ගේ යාලුවන්ටත් එන්න කියලා ෆෝන් එකෙන් කතා කරලා. කාර් එක පාක් කරන්න තරම් වත් ඉඩ නෑ, ඒ තරමට කොළඹින් එන වාහන මීගමුව මුහුදු වෙරළට. අපි මුදේ නාලා, හෝටලේ පූල් එකේ පිනාලා හවසට තමා එන්නේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ, පළමු සේවය සහ වෙළද සේවය අපි ඒ දවස්වල හරිම ආසාවෙන් අහන්නේ. පලවෙනි සේවයේ ශාස්ත්‍රීය වැඩ සටහන් ඉහල ගුනාත්මයකින් යුතුයි. ප්‍රයිවෙට් FM නාලිකා තිබුනේ නැහැ, ඔලුව කැක්කුම හැදෙන රැප්, කර්ණ කටුක හෙවි මෙටල් සංගීත, ඉංග්‍රීසියෙන් කොපි කල සිංහල ගීත එකල තිබුනෙත් නැහැ.
දවසක් වඳුරෙක් අපේ ගෙදර කාමරයක් ඇතුලටම ඇවිත් අම්මාගේ මුහුණ බලන කණ්ණාඩිය අරගෙන මුහුණ බල බලා කොස් ගහක් උඩට නැග්ගා. ඌ හරියට මිනිහෙක් වගේ වාඩිවෙලා කණ්ණාඩියෙන් මුහුණ බල බලා හිටියා. අපි ගහ මුලට වී ගහ උඩ වඳුරා කරන කෝලම් බල බල ඉන්නකොට ඌ කන්නාඩිය දාලා දිවුවා, කන්නාඩිය සි සි කඩ ගියා.
1960 මුල ගණන් වල මම ඉස්කෝලේ යන ගමන් කැඩී කෙනෙක් හැටියට මොඩල් ෆාම් පාරේ ‘රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ්’හි ගොල්ෆ් බෑග් උස්සං යාම, ගොල්ෆ් බෝල එකතු කිරීමේ රක්ෂාව කළා. චන්දෙන් පැරදිච්ච හිටපු අගමැති තුමෙක් ගොල්ෆ් ගහන්න ඇවිත් එයාගේ සුපුරුදු කැඩී නැති හන්දා දවසක් මට කථා කළා. මම දවසම වගේ එතුමාට සේවය කළා. එදා එතුමා ගාව මට ගෙවන්න මුදල් තිබුනේ නැහැ, පර්ස් එක ගෙන්න අමතක වීම නිසා. එතුමා කොච්චර හොඳ ද කියනවානම් දවසක් ගොල්ෆ් ගහලා ඉවරවෙලා මාව හොයාගෙන වනාතමුල්ලේ මගේ ගෙදර ඇවිල්ලා, අම්මාට නෝට් එකක් දීලා ගිහිල්ලා මට ස්තුති කරලා, රුපියල් 50කුත් එක්ක.
70 ජීවන ක්‍රමය අදත් තිබුනා නම් අපි ඔය ලැප්ටොප් තියාගෙන කොට කොට ඉන්ඩ හම්බ වෙන්නේ නැ.එහෙනම් තාමත් රෑ අට වෙද්දී අල්ලපු ගෙදරට ගිහින් මුවන්පැලස්ස අහල ගෙදර ගිහින් රොටියක් පුච්චලා කාල කුප්පි ලාම්පුව් නිමලා, නිදා ගන්නවා. ඉරිදා රැ 8ට මොනරතැන්න අහනවා. පොඩි මල්ලි පොකට් රේඩියෝ එක කනටම තියාගෙන ඈපාසිංහ මහත්තයාගේ ‘බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු’ අහනවා.
1990 මැද විතර අන්තිම අමාරු කාලයක් අපට. රටේ යුද්ධේ තදටම යනවා. ඉන්නම තැනක් නැති කොට බම්බලපිටියේ විසාකා පාරේ ගාලු පාරට හැරෙන හන්දියේ ලෑලි මඩුවක කුලියට හිටියා තාත්තයි, අම්මායි මමයි, පොඩි මල්ලීයි – එයා අත දරුවෙක් එත කොට . රෑට කුප්පි ලාම්පුව ඔෆ් කරලා, ලතා මංගේෂ්කාර්ගේ කැසට් එක (බැට්රි) දාගෙන තාත්තා හැමදාම නිදා ගන්නේ. ‘වය්ශ්නාව ජනතෝ’ සිංදුව ඉවර වුනාහම කවුද දොරට ගහනවා ‘දොර අරින්න, දොර අරින්න’ කියලා. එළියේ ළාවට වැස්ස. බැලුවහම රෑ ඩියුටි යන රාලාහාමිලා දෙන්නෙක්. ‘අනේ තරහ නැතුව අර සිංදුව ආයි දාන්නකෝ හරිම රසාලිප්තයි’, කියලා කිවුවා. පස්සේ ඒ අය මුළු කැසට් එකම අහලයි ගියේ. අම්මා කහට තේ හදලා හකුරු එක්ක දුන්නා.
ඉස්සර අපේ ගෙට අල්ලපු වත්තේ සියා කෙනෙකුගේ රට අඹ ගහේ ගෙඩි ඉදිලා අතු බිමට බරවෙලා. මේවා දැක්කම චුටි නංගියි මමයි ඒ වත්තට පැනල අඹ ගෙඩි කඩාගන්නවා. මේක දැක්ක ඒ සියා අපිව ගේ ඇතුලට එක්ක ගෙනිහින් පැහිච්ච අඹ ගෙඩිය හතරට කපලා ලුණු, ගම්මිරිස් දාලා හැන්දෙන් කන්න කිව්වා. ආයි ඕනෑම වෙලාවක ඇවිල්ලා ගෙඩි දෙක දෙක දෙන්නාට කඩා ගන්න කිව්වා.
ඔය 70 දශකයේදී මම කොළඹ උසස් පිරීමි පාසැලක ප්‍රාථමික පන්තියේ ඉගෙන ගන්න සිසුවෙක්. ඒකාලේ ගෙදරට ඇවිත් ආපයින් ආපසු ටියුෂන් යන්නේ නැහැ. ශිෂ්‍යත්ව විභාගෙට ලිවුවේ ඉස්කෝලේ නෝට්ස් වලින්. හවසට ඉස්කෝලේ ස්විමින් පූල් එකට ගිහින් පිනනවා – වෝටර් පෝලෝ වැනි ජල ක්‍රීඩා, යාළුවො එක්ක මාර්බල්ස් ගහනවා ඇතිවෙන්න, නැත්නම් රෑ කළුවර වැටෙනකම් ක්‍රිකට්. සෙනසුරාදා උදේ ස්කවුටින්, පස්වරුවේ බේරේ වැවේ බෝට්ටු පුහුණුව. මගේ දරුවන්ට මේ සුන්දර ජීවිතය දෙන්න බැරිවීම මට දුකක්.
මමයි අයියල දෙන්නයි අක්කයි මහව අපේ ගමේ ඉස්කෝලේ ඇරිලා, සැතපුම් එක හමාරක් විතර පයින් එන්නේ. ගස්වලට පොලු ගගහ තමයි එන්නේ. ඒ ආපුවාම ගොඩක් දවස් වලට මඥ්ඥොක්කා තම්බලා තමා තියෙන්නේ. මට ඒකාලේ (මඥ්ඥොක්කා යුගයේ ) මඥ්ඥොක්කා පේන්ඩ බෑ.මම කන්ඩ බෑ කියල අඬනකොට අම්මා කරන්නේ නැන්දලගේ ගෙදර ගිහින් එහෙ තියෙන දෙයක් ගෙනත් දෙනවා. බොහෝ වෙලාවට ඒ ගෙදර තියන්නෙත් අපේ ගෙදර දේමයි. එතකොට කරන්නේ කඩේට ගිහින් පාන් කාලක් ගෙනත් දෙනවා. පාන් ගෙඩියම සත 34යි.
මම අදත් හරි කෙට්ටුයි. මගේ මහත්තයා කියනවා ‘ඔයාට මම අවසර දෙනවා, මොකද ඔයා මඥ්ඥොක්කා යුගයේ ළමයෙක් නේ කියලා’ (මම උපන්නේ 1972).
මාමා කෙනෙක් හිටියා රට. ඒකාලේ රට හිටියා නම් ඒ එසේ මෙසේ කෙනෙක් නොවේ. ඔය මාමා රට ඉදන් එනකොට අපේ ගෙදර ටත් ඇපැල් ගෙඩි 2ක් ලැබුනා. මම පළමු වතාවටයි ඇපැල් ගෙඩියක් දැක්කේ. ඕක 6 ට කපල කෑවා. ඒක හරියට අමුර්තේ වගේ. ඕක කාලා මම කිව්වා, සිතුවා ‘කවද හරි මාත් දවසක රට ගිහින් ඇපැල් ගෙඩියක් තනියම කනවා’ කියලා. ඔය කතාව ගෙදර සියලු දෙනා එකතු වූ විට මෑතක් වනතුරු මාව බයිට් කිරීමට යොදාගත්තා.
අපි දන්නා මොලේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් හිටියා අපිට ගෙවල් 3ක් පමණ එහායින් හැව්ලොක් පාරේ. අපේ තාත්තගේ ගජ යාලුවා, දෙන්න එකට බ්‍රිජ්/චෙස් ක්‍රිඩා සෙල්ලම් කරනවා. 71 ජේවීපී කලබල කාලේ මොලේ ඔපරේෂන් එකක් කරලා මිනිහා ගෙදර එනකොට රෑ 12ට චෙක් පොය්න්ට් එකකින් නවත්තලා. බර්ගර් මහත්තයෙක් වූ උන්නැහේ අත් දෙක උස්සගෙන චෙක් පොය්න්ට් එකට ගිහිල්ලා කර්ෆිව් පාස් එක පෙන්වුවාහම සැරෙන් අහලා තියෙනවා මේ රෑ කොහෙද ගියේ, ජොබ් එක මොකක්ද කියාලා. මම නියුරෝ සර්ජන් කියලා මිනිහා කියලා. හමුදාවත් හරි බයෙන් ඒ කාලේ හිටියේ මොකද ජේ.වී.පී එකෙන් චෙක් පොය්න්ට් වලට ගහන තත්වයක් තිබුනා. සර්ජන්ව හමුදා භාරයට ගත්තා. එයාට ඇහිලා තියෙන්නේ ‘නිව් ඉන්සර්ජන්ට්’ කිව්ව හැටියට. උසස් හමුදා නිලධාරියෙක් ඇවිත් එතුමාව නිදහස් කළා.
‘තාත්තේ මරණය සමග සෙල්ලම් කිරීමට ආස නිසාද අර පුද්ගලයා පාපුවරුවේ යන්නේ? ඒක එයාට විනෝදයක් ගෙන දෙන්නක්ද’? මම දුවට කියනවා ‘දුවේ, 1970 මුල් කාලයේ මමත් ඕන හැටියේ ලංකාවේ බස් වල ෆුට් බෝර්ඩ් එකේ ගියා. එක ඇගිල්ලකින් එල්ලිලා. එක කකුලක් ෆුට් බෝර්ඩ් එකේ අනික එළියේ. ත්‍රාසජනක ක්‍රීඩාවකට තියෙන ආසාවට නෙමෙයි දුවේ, කොහොම හරි වැඩ ඇරිලා ගෙදර යා ගන්න ඕනේ නිසා’.
දවසක් 103 අංක දරන තට්ටු දෙකේ බස් එකක පාපුවරුව කඩා වැටිලා මං ඉස්සරහම පාපුවරුවේ එල්ලිලා ගිය කලිසම් කාර මිනිහක් වැටිලා මලා; උනේ මරදානේ ඇට්ලස් හෝල් බිල්ඩිම (දැන් තක්සේරු මන්දීරය) ඉස්සරහ, 1974 දී විතර. ඒ මිනිහාගේ මුහුණ වහන්න සුදු රෙද්දක් සැපයුවේ ඒ අසළ තිබු මුස්ලිම් කඩයක හිමියෙක්.
ගැටවර වයසේ ඇවිදලා, ඇවිදලා සමහර දාක රෑ වෙලා, 7 -8ට විතර, ගෙදර එන්නේ. කළුවරේ කඩුල්ල ළඟ කෙනෙක් බලන් ඉඳලා මම ගෙදරට හැරෙන පාරට ඇතුල් වෙනවත් එක්කම ඇතුලට යන චායාවක් මට යන්තමට ඈතට පේනවා. ඒ අම්මා. හිතේ මම දැක්කේ නැහැ කියලා. හැබැයි, ගෙදර ආවහම වචනයක් වත් කියලා බනින්නේ නැහැ.
සොහොන් කොත් වල අර්ථවත් වදන් ලියලා තියනවා, ඉස්සර ගිහින් බලනවා. ආගමේ සොහොන් කොත් වඩාත් රසවත්. කොත් දැක්කහම රට හොල්ලපු මිනිස්සු දැන් ඔක්කොම ඉන්නේ බොරැල්ලේ කනත්තේ නේද කියලා හිතෙනවා.
මා පාසල් යන කාලයේ රුපියල් 2.20 ක් හා බෑග් එකක් ද රැගෙන බසයෙන් ජාතික පොළට ගොස් (එතකොට තිබුනේ බුලර්ස් රෝඩ් එකේ) එළවලු තුනක් රැගෙන, කඩල ගොට්‌ටක් ද කා බසයෙන්ම ආපසු ගෙදර ආවේ, සත 82 කුත් ඉතිරි කරගෙන.
පොඩිකාලේ අලුතින් හාරන මිනි වලවල් බලන්න අපි කනත්තට යනවා, මොකද එතකොට අවුරුදු ගානකට කලින් වලලපු මිනි ඇට කටු හමු වෙනනිසා. ඒවා හොරෙන් එකතු කරගෙන සරමේ කැහපට දාගෙන ඇවිල්ලා ගෙදර බෝඩ් වෙලා හිටපු මෙඩිකල් කොලේජ් එකේ අයියාට දෙනවා.
අපේ තාත්තා රජයේ ටෙක්නිකල් කොලේජ් එකක විදුහල්ති කෙනෙක්. අම්මා ගුරුවරියක්. අපේ තාත්තා ඇන්ටි කෙනෙක් (ටීචර්) එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගත්තා. ඒ ඇන්ටි තාත්තගේ පරණ යාලුවෙක්ගේ නෝනා. අපේ තාත්තාට විදුහල්පති වෙන්න උදවු කලෙත් ඒ මාමා. අපේ අම්මාත් අපිත් මේ දේ දන්නවා. තාත්තා හැමදාම ඒ ඇන්ටිත් එක්ක ගතකරලා ගෙදර එන්නේ හොඳටම බීලා. ඇවිත් අම්මට ගහනවා. අපිටත් ගහනවා. හොදටම බනිනවා. අපට ගහ ගහා ෆෝන් එකෙන් ඒවා තාත්තගේ යාලු ඇන්ටිට අහන්න සැලැස්වුවා. කීප දවසකම මහ රෑ අපට ගහලා ගෙදරින් එළියට දාලා තියනවා. එදාට නංගීත් මමත් මල්ලීත් අම්මාත් ගෙයි එළියට වෙලා එලිවෙන කම් අඞ අඞා ඉන්නවා. අපට කන්න, ඉගෙනගන්න වියදම් කරන්නේ අපේ අම්මා. ඇය මේ ලෝකේ උතුම්ම මව. අපට දුකක් වෙන්න දෙන්නැතිව ආදරෙන් බලා ගත්තා. . අපිට උගන්වන්න අම්මා අපා දුකක් වින්දේ. අම්මා තාත්තට විරැද්ධව පොලිසි ගියේ නැහැ. අපට ලැජ්ජා වෙයි කියලා. තාත්තගේ නපුරු පහරදීම් වලින් අපේ අම්මාත් වෙලාවක මැරෙයි කියලා හරි බයක් අපට තිබුනේ. මේ ලෝකේ හිටපු නපුරුම කෙනා අපේ තාත්තා කියලයි මට හිතෙන්නේ. තාත්තා අපෙන් අයින් වෙලා අර ඇන්ටිත් එක්කම ඉන්නවා නම් අපි හැමෝම කැමත්තෙන් හිටියේ. ඒත් එයා එහෙම කලේත් නැහැ.
මම විශ්ව විද්‍යාලේ යන්න පටන් ගත්තට පස්සේ කැම්පස් හොස්ටල් එකේදී පුරුදු වුනා නානකොට ෂවර් එකේ ඉඳන් සින්දු කියන්න. නිවාඩුවට ගෙදර ඇවිත් පුරුද්දට සින්දු පටන් ගත්තාහම තාත්තා අම්මාට කියලා ‘බලන්න අර ළමයට බඩේ අමාරුවක්ද දන්නේ නැහැ, කෙඳිරි ගාන සද්දයක් එනවා කියලා’.
අපේ තාත්තාට සාමාන්‍යාධිකාරී ලෙස ලොකුම උසස්වීමක් ලැබුනා ඔහු වැඩ කල ආයතනයේ. අපේ පවුලට අළුත් වටිනා ගෙයක්, වටිනා කාර් එකක් එහෙම ගත්තේ ඔය කාලේ. තාත්තා කතරගම දෙවියන්ට වෙච්ච භාර හාර ඔප්පු කරන්න ලොකු පිරිතක් කිව්වා. ධාතු කරඬුව වැඩම්මව්වේ මගේ හිස පිට, දැවැන්ත පෙරහැරකින්. කොටා පාරෙන් භාගයක් පොලිසිය ඇවිල්ලා වැහුවා. පුංචි මට ලොකු වගකීමක්. ලොකු අයියාට දුන්නේ හාමුදුරුවරුන්ගේ දෙපා හෝදන එක, ඒ කේන්තියට එයා මහා පිරිතෙන් පස්සේ නිදා ගත්තා. පොඩි අයියානම් ආසාවෙන් තුවාවලින් හාමුදුරුවරුන්ගේ කකුල් පිහි දැම්මා.
ඉස්සර අපි, වයස 19 විතරෙදි, සම මෘදු වෙන්න නිවියා ක්‍රීම් ගාලා, කුරුලෑ වැහෙන්න මුහුණට පොන්ඩ්ස් වැනිෂින් ක්‍රීම් ගාලා, හිසකේ ගල් වගේ තියා ගන්න සහ දිලිසෙන්න යාර්ඩ්ලි බ්‍රිල් ක්‍රීම් ගානවා. මව්ලානා එකෙන් රුපියල් 7.75ට ගත් හෙන්ටලී අත් කොට කමිසය ඇඳන් එයට කැපෙන දුඹුරු පාට හීනී ලෙදර් ටයි එක බැඳ ගන්නවා. පාවහන් – ඉලස්ටෝ එහෙම නැත්නම් මැජස්ටික් බූට් වර්ක්ස්. සෙනසුරාදා හවසට අම්මාගේ ඩෝෆින් රෙනෝල්ට් එක ඉල්ලගෙන මම ඩ්‍රය්ව් කරන් යන්නේ මගේ පෙම්වතිය එක්ක ඩාන්ස් කරන්න, මවුන්ට් ලැවිනියා බීච් හොටෙල් එකේ ලිට්ල් හට් එකට. එතැනදී ගහන ගෘප් එක ජෙට්ලය්නර්ස්. ප්‍රධාන ගායකයා ඇල්ස්ටන් කොච්, ගායිකාව, මිනෝන් රත්නම්.
අපි හැම අවුරුද්දෙම වගේ පවුලේ චායාරූපයක් ගත්තා. ඒ ගන්න යන්නේ ඩොනල්ඩ්ස් නැත්නම් ප්ලාටේ එකට.
ඉස්සර මේ වගේ ටියුෂන් නැහැ. 1965 දී විතර, පාසැල ඇරිලා (විසාකා) ගෙදර ඇවිත් බත් කාලා ඉංග්‍රීසී නවකතාවක් කියවනවා. 3නේ ඉඳන් 4 වෙනකම් ‘චැනල්’ පියානෝ එක වාදනය කරවා. ගොඩාක්ම ගහන්නේ සුනිල් ශාන්ත/CT ප්‍රනාන්දුගේ ‘ඕලු පීපිලා’, ‘මා බාල කාලේ’ වැනි සින්දු. තේ එහෙම බිලා ගෙදරින් යනවා -5 ඉඳල 6 වෙනකම් වෙන්ඩි වොට්මෝර් ඇකඩමියේ එලකියුෂන්. සෙනසුරාදා උදේ අම්මා එයාගේ කාර් එකෙන්ම මාව ගිහිල්ලා බස්සනවා ග්‍රීන් පාත් එකේ ටෙනිස් පුහුණුව. ඊට පස්සේ උදේ 10ට විතර කොල්ලුපිටියේ චිත්‍රසේන/වජිරා කළායතනයට. උඩරට නැටුම්, ලී කෙලි නැටුම් එහෙම පුරුදු වුනා. දවල් 12ට අම්මා ඇවිත් අර ගන්නවා. කොල්ලුපිටිය හන්දියේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකෙන් පේස්ට්‍රි රෝල්ස්/චයිනීස් රෝල්ස්, චොකලට් කේක් වගේ රස ආහාර අම්මා අරං දීලා, කොල්ලුපිටියේ ක්‍රීම් හවුස් එකෙන් (දැන් අබාන්ස් බිල්ඩිම), අම්මා මට වැනිලා අයිස් ක්‍රීම් කෝන් එකක් අරං දෙනවා එතන ඉඳගෙනම කන්න. පස්සේ හවස් වරුවේ SSC පූල් එකට ගිහිං පීනලා, පී නට්ස් පැකට්ස් අරගෙන නෑ ගෙවල් වල (වැඩියෙනම් බාප්පාගේ) යනවා. එහෙන් කන්නේ නැති දවස්වල සවස ආපහු ගෙදර යන්නේ බම්බලපිටියේ සරස්වතී ලොජ් හෝ ග්‍රීන්ලන්ඩ්ස් එකෙන් උණු උණු තොසේ, උළුඳු වඩේ, මසල වඩේ, හොදි, සම්බෝල ආදිය අරං, පාර්සල් කර, රෑට ගෙදරදී කන්න. පහේ දාපු රසම රස ලොකු මුරුක්කු පැකට් එකක් ගන්න මා අමතක කරන්නේ නැහැ. තොසේ පාර්සල් හදන කම් අම්මා සත 10ක් කහ පැහැති ‘ඒවරි’ බර කිරණ මැෂිමට දාලා එයාගෙයි මගෙයි බර බලා ගන්නවා.

Comments