top of page
Search

කෙනෙකුට ආගම් 2ක් ඇදහිය හැකිද, සිංහල බෞද්ධ සමාජයේ වන තවදුරටත් පිරිහීම, විධායක ජනාධිපතිත්වය අහෝසි කර ’72 ව්‍යවස්ථාවට (සංශෝධිතව) ආපසු යාම සහ වෙනත් වැදගත් දේ

Updated: Jul 1


චානක බණ්ඩාරගේ

පාස්කු ඉරිදා කොච්චිකඩේ පල්ලියේදී මියගියවුන් අතර බෞද්ධ අයද සිට ඇත. මේ සියළු අය වෙනුවෙන් අපේ බලවත් කණගාටුව සහ  ප්‍රණාමය!

පන්සල් යන ගමන් පල්ලි යන අය අද එමටය.

ඇත්තටම මේ අයගේ ආගම කුමක්ද?

කෙනෙකුට ආගම්  2ක් තිබිය නොහැක. 

ආගම යනු විශ්වාසයකි.

ඉදින්, එකම කරුණ ගැන පරස්පර විශ්වාසයන් 2ක් තිබිය නොහේ (උදා: මරණයෙන් මතු ජීවිතය, දෙවියන් සිටීද - එසේ නම් මොන අනුසාරයෙන්ද වැනි).

ආගම් අතර ඉගැන්වීම් වල ඇත්තේ බලවත් පරතරයකි.

යුදෙව්වන්, මුස්ලිමානුවන්, ක්‍රිස්තියානුවන් (Abrahamic religions) - සියල්ල අදහන්නේ එකම ජීවමාන දෙවියන් වහන්සේය. නමුත්, එකී ආගම් අතර මොන තරම් පරස්පරතාද? ඔවුන් යනුයේ තමනට ආවේණික ආගමික සිද්ධස්තාථානයට පමණි. මෙරට මුස්ලිමානුවෙක් ක්‍රිස්තියානි පල්ලියකට ගොස් භක්තියෙන් ඉටි පහන් පත්තු නොකරයි; ක්‍රිස්තු භක්තිකයෙක් හින්දු කෝවිලකට ගොස් භක්තියෙන් පොල් නොගසයි.

බුද්ධාගම සහ හින්දු ආගම අතරද ඇත්තේ වෙනස් වූ විශ්වාසයන්ය. එක් කෙනෙකුට මෙම ආගම් 2ම ඇදහිය නොහැක.

(ආදී දෙමළ බෞද්ධයන් සිටියාය කියා මතයක් බෙදුම්වාදීන් දැන් ගොඩ නගනුයේ උතුරෙන් සහ නැගෙනහිරෙන් හමුවූ සහ දිගටම හමුවෙන ශිලා/ටැම් ලිපි, සිංහල රජවරුන් ඉදි කල ඉපැරණි ගල් කුළුණු, සඳකඩ පහන් ආදියේ දෙමළ අක්ෂර නොමැති නිසා, සිංහල නොමැති, සංස්කෘතික (Sanskrit) අක්ෂර පමණක් ඇති ඒවා සිංහලයන් නොව ද්‍රවිඩයන් - ඊනියා ආදී ද්‍රවිඩ බෞද්ධයන්,  විසින් කරන ලද නිර්මාණ බව ලොවට වංක ලෙස පෙන්වීමටයි. දෙමළ යනු සිංහල, හින්දි, පාලි, උර්දු, බෙන්ගාලි මෙන් වූ සංස්කෘතික (Sanskrit) සම්භවයක් ඇති භාෂාවක් නොව මුළුමනින්ම වෙනස් වූ  ‘ද්‍රවිඩියන්’ භාෂාවකි.

මිහිඳු හිමියනට පෙර මෙහි බුදු දහම තිබුණු බවත්, රටෙහි සිටී රජතුමා සිංහල දේවානම් පියතිස්ස නොව දෙමළ දේවානම් පියතිස්සම් බවත් බෙදුම්වාදීහු පවසත්. මේ මතයට උඩ ගෙඩි දෙන යු ටියුබයෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව නොනවතින ‘බනක්’ කියන පුරා විද්‍යා මහාචාර්යවරයෙක්ද ඇත (ඉතිහාසය ෆැක්ටරියක්). මහාවංශය බැහැර කරන මෙතුමාද පෙන්වීමට උත්සහ කරන්නේ සිංහලයනට පෙර මෙම භුමියේ දෙමළ අය වාසය කළ බවයි.

මේ කරුණ පෙන්වා ජාත්‍යාන්තර නිතීය යටතේ ඊලාම දිනාගැනීමට විග්නේස්වරන්, සිද්ධාර්ථන් වැන්නන් අනාගතයේදී උත්සහ දරනු ඇත.

‘ආදී ද්‍රවිඩ බෞද්ධයන්’ යන ජන කොටසක් ගැන කිසිම ඉපැරණි ඉතිහාස පොතක සඳහන් නොවේ. නැවතත්, මෙය ද්‍රවිඩ බෙදුම්වාදය සාක්ෂාත් කර ගැනීම සඳහා ගෙන එන ලද නව සංකල්පයකි).

ආගමක් අදහන්නා එය ඉමහත් භක්තියෙන් සිදු කරයි. කෙනෙක් බෞද්ධ නම් ඔහු/ඇය 100%ක් බෞද්ධ විය යුතුය.  75%ක් බෞද්ධ (සහ 25%ක් ක්‍රිස්තියානි) විය නොහැක.

ශ්‍රී ලංකාවේ සමහර බෞද්ධයෝ ශිව, විෂ්ණු, ගණ වැනි දෙවිවරුන් අදහන බව සත්‍යකි. මේ පිළිබඳව විග්‍රහ කල හැක්කේ මෙසේය:

තමිල්නාඩුවේ මුල් බැස තිබු විජයනගර් රාජධානිය යටතේ ශ්‍රී ලංකාව පාලන කල නායක්කර් රජවරු 4 දෙනා (තෙලිඟු සම්භවය - අද අන්ද්‍රා ප්‍රදේශ්), පුර්ණ බෞද්ධ රජවරුන් බවට පත් වුවත් (රජකම හිමිවීමට මෙය අත්‍යාවශ්‍යම සාධකයක් විය) ඔවුන්ගේ දකුණු ඉන්දියානු දේවී වරුන් හින්දු භක්තිකයෝ වුහ. ඒ අයගේ ඇදහීම උදෙසා මහනුවර දළදා මාලිගා සංකීර්ණයේ හින්දු කෝවිල්ද නිර්මිත විය. රජතුමාට සේවය කල සිංහල රදළයන් සහ වෙනත් වංශක්කාරයන් ද මෙම හින්දු දෙවිවරුන් අනුකරණය කිරීම නිසා (දෙමළ කථා කළ හැකිවූ  ශ්‍රී ලංකා රජතුමා සතුටු කිරීමට) කන්ද උඩරට රාජධානියේ සාමාන්‍ය සිංහල බෞද්ධ ජනතාවද මෙම හින්දු දෙවිවරුන් ඇදහීමට පටන් ගත්හ.

නිර්මල බුද්ධාගමේ දෙවිවරුන් නොමැති නිසා (කතරගම, සමන්, දැඩිමුණ්ඩ ආදීන් සිංහල දෙවිවරුන් බව සැබැවි), බෞද්ධයනට බුදුන් වහන්සේ වැඳ පුදා ගත් පසු මෙකී හින්දු දෙවිවරුන්ද වැඳ පුදා ගැනීම පසු කාලයේදී ප්‍රශ්නයක් නොවුවා විය හැක.

(බුදුන් වහන්සේට සක්‍රයා ප්‍රමුඛ සියළු දෙවිවරුන් වන්දනා මාන කල බවයි ඉතිහාස ග්‍රන්ථ දක්වනුයේ).

කොටින්ම, මෙකී හින්දු දෙවිවරු බුද්ධාගමේ කොටසක් ලෙස සලකා අප අද වැඳ පුදා ගනිමු. මේ දේව කෝවිල් පිහිටා ඇත්තේ පන්සල් භූමී තුලමය.

ඒ නිසා සිංහල බෞද්ධයා බුද්ධාගම සහ හින්දු ආගම යන ආගම් 2ම අදහන්නේය යයි කීම සම්ප්‍රප්ලාවකි.

වර්තමානයේ කෙනෙක් ක්‍රිස්තු පල්ලියට සහ බෞද්ධ පන්සල යන ස්ථාන දෙකටම ගොස් ඇදහීම් සිදු කිරීම මෙයට වෙනස් දෙයකි. මේ ලියුම්කරු පවසන්නේ ඔවුන් ආගම් 2ක් අදහන බව පෙන්වීමට උත්සහ කරන බවය.

නමුත්, එවැනි උත්සහයන් සාර්ථක නොවේ.

මන්ද, කලින් කීවක් මෙන් කෙනෙකුට ආගම් 2 ක් ඇදහිය නොහැකි නිසාය.

බොහෝ විට ඔවුන් පන්සල් යන්නේ පවුලේ සෙසු බෞද්ධ අයට/ලෝකයාට පෙන්වීමට විය හැක - උපතින් බෞද්ධයන් වීම නිසා.

මේ ඔවුන්ව විවේචනය කරනවා නොවේ; තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහාස මේ රටේ සැමට ඇත.

ඔවුන් දැන් පල්ලි යන්නේ එය ඔවුන් දැන්  වැළඳ සිටින ආගම නිසාය. එනම්, ඔවුන් බෞද්ඩ්ත්වයෙන් ගිලිහී  ක්‍රිස්තියානුවන් බවට පත්වී ඇත.

මේ නව ක්‍රිස්තියානුකරණය ශ්‍රී ලංකාව තුල සිංහල බෞද්ධ සංඛ්‍යාව අඩු වී යාමට බලවත් හේතුවකි.

මෑත කාලයේ, ශ්‍රී ලංකාව තුල සිංහල බෞද්ධ සංඛ්‍යාව අඩු වීමට අඩිතාලම දැමුවේ 1971 - 77 දක්වා (සිංහලයන්ට පමණක් මෙන්) ක්‍රියාත්මක වුනු ‘පුංචි පවුල රත්තරන්’ සංකල්පයයි. මෙය අතිශය පුළුල් පවුල් සංවිධාන ව්‍යාපෘතියක් විය.

සිංහල බෞද්ධ සංඛ්‍යාව අඩු වී යාමට තවත් බොහෝ හේතු ඇත:

1978 දී සිරිමා - ශාස්ත්‍රී ගිවුසුම අවලංගු කිරීම සහ වතුකරයේ ද්‍රවිඩ සහෝදරයන් ලක්ෂ ගණනකට එක් වර ශ්‍රී ලාංකීය පුරවැසිබව පිළිගැන්වීම (JR රජය මඟින්), 1971 සහ 1989/90වූ  ජවිපෙ ත්‍රස්තවාදී යුද්ධ, 1995 පසු රාජ්‍ය නායකයන් සිංහල බෞද්ධත්වය අවංකවම රැකීමට ඉදිරිපත් නොවීම, මැදපෙරදිග මෙහෙකාර සේවා සඳහා අපේ වැදගත් කාන්තාවන් දස දහස් ගණනින් පිටත් කර යැවීම, බෝර්න් අගේන්/ජෙහෝවා විට්නස්/7 වන දින ඇඩ්වෙන්ටිස්ට්/පෙන්ටකොස්ටල්  වැනි ක්‍රිස්තියානි කල්ලි/කණ්ඩායම් වල අති සීග්‍ර වැඩි වීම, මෙරටට ධීවරයන් සහ වෙනත් වේශයෙන් තමිල්නාඩුවෙන් එන  නොරටුන්, මාලදිවයින්/පකිස්ථාන්/ඇෆ්ගනිස්ථානයෙන් පැමිණියායි කියන හොර නොරටුන්, අපේ බෞද්ධ ස්වාමීන්වහන්සේලා  සමහර දෙනෙක් දුෂ්ශීල වැඩ වල නිරත වීමට යොමු වීම,  30 අවුරුදු අති දරුණු යුද්ධය, 2010 පසු මෙහි වූ (දැනුත් සිදුවෙන) (ආපසු නොයන බව පෙනෙන) අධික චීන ජනගහන ව්‍යාප්තිය, දැනට දකුණේ සිදුවෙන (ආපසු නොයන බව පෙනෙන) රුසියන්/යුක්රේන් සීග්‍ර ජනගහන වර්ධනය, දියුණු රටවල් කරා වු (අදටත් සිදුවන) දැවැන්ත බුද්ධි ගලනය, විධායක ජනාධිපතිත්වය - පහත බලන්න, ආදී විවිධ හේතුන් වේ.

මිශ්‍ර  ජාති/ආගම් විවාහයන් නිසා දෙමව්පියන් දරුවන්ව  ආගම් දෙකම අදහන තත්වයකට අද පත් කර ඇත. මේ නිසා දරුවන් අවුලකට පත්වේද?

1995 පසු රජයන්හි ආශිර්වාදයෙන් පුද්ගලික, සිංහල රුපවාහිනී නාලිකා (ප්‍රධාන 3ක් හැර - දැන් ඉන් ඉතිරිව ඇත්තේ 2කි)  සහ FM ගුවන් විදුලි සේවා සිංහල බෞද්ධත්වය පිරිහීම උදෙසා ඍජුව සහ රහසිගතව කටයුතු කළහ. මෙවා දකුණු ඉන්දීය සංස්කෘතිය සිංහල බෞද්ධයාට  ආරෝපොනය කිරීමට තදින් වෙර දැරුහ (දෙමළ සංස්කෘතිය, දෙමළ චිත්‍රපට, ද්‍රවිඩ රාවණා සංකල්පය වැනි දේ අද කිසිදා නැති තරම් සිංහලයන් අතර ප්‍රචලිතය).

රජයන්හි අනුග්‍රහයෙන්, ‘සිංහල බෞද්ධ’ අනන්‍යතාවය සුන් කර ඒ වෙනුවට ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවයක් දකුණේ තැනීමට උක්ත නාලිකා (රුපවාහිනි සහ ගුවන් විදුලි) ඉතාම සමත් ව ඇත. උතුරේ සහ නැගෙනහිර ඇති දැඩි ‘ද්‍රවිඩ’අනන්‍යතාවය එසේම පවතී, එය ‘ශ්‍රී ලාංකික’ බවට පත්වී නොමැත. එය ‘ශ්‍රී ලාංකික’ කිරීම සඳහා කිසිවෙක් වැඩි උත්සහයන්හි  නොයෙදුනි.

පසුගිය රජයන්වල (1995 – 2019) සංහිඳියා ක්‍රියාදාමය අසාර්ථක වී ඇතැයි අප පවසන්නේ ඒ නිසායි.

අරගලකරුවන් තමන් සර්ව සාධාරණ සහ සුවිශේෂ අය යයි පවසත්. අද මේ රටේ පවත්නා ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්ණය වනුයේ සිංහලයාට උතුරේ සහ නැගෙනහිර ජීවත්වීමට නොහැකි වීමයි. මේ පිළිබඳව ඔවුහු ගොළුවත රකිත්.

යු ටියුබ් සමාජ මාධ්‍යකරුවන් මෙම ප්‍රශ්ණය මඟ හැර යත්.

පසුගිය කාලයේ සිටී රාජ්‍ය නායකයෝ විවිධාකාර ආගමික සිද්ධඨාන වෙත ගොස් ඉමහත් භක්තියෙන් පුද පුජා වලට සහභාගී වන රුපවාහිනී රාමු අප දැක ඇත්තෙමු. සමහරු ඉන්දියාව බලා ගොස් සිය බරට රත්තරන් දී ආහ.

(මේවා LTTE රත්තරන්ද?).

මෙතරම් බලගතු, අපේම වන කතරගම දෙවිඳුන් සිටියදී (හෙළ, මහසෙන්ගේ පුනරුප්පත්තිය), මේ අය අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි තිරුපති කෝවිලේ සරණ යන්නේ මන්ද? ‘නුඹලාට ලං වීමට නොහැකි දෙවිවරු තමා මා වන්දනා මාන කරන්නේ’ කියා රටවැසියනට බොරු උසස් තත්වයක් මවා පෙන්වීමටද?

මොවුන් තව අතකින් කරන්නේ රඟපැමැකී - චන්ද කඩා ගැනීමට  කරන උප්පරවැට්ටියකි. මේවා කිරීමෙන් දෙමළ චන්ද ලැබේවි යයි ඔවුහු සිතත්. එසේ ලැබෙනවාද ඇත. නමුත් කෙනෙක් සිය ආත්ම ගරුත්වය පාවා නොදිය යුතුය.

මේ රටේ විධායක ජනාධිපතිධුරය අහෝසි කල යුතු යයි අප කියනුයේ මෙවැනි දේ නිසායි. මේ තනතුර සිංහලයාට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයාට ඉතාම අහිතකරයි. ජනාධිපතිවරණයක් දිනීමට අවම වශයෙන්  51% ක්වූ චන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුය. සිංහල ජනගහනය අඩුවී ගෙන යන මේ කාලයේ සුළු ජාතික චන්ද නොමැතිව මෙය කිසිවෙකුට ලබාගැනීම ඉතා අපහසුය. ඒ සුළු ජාතිකයන් උපරිමවම සතුටු කිරීමට සියළු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ට  අනිවාර්යයෙන්ම සිදුවේ (සිංහලයා සිය ජාතිය පාවා දුන්නත් ගණන් නොගන්නා බව මේ ජනාධිපති අපේක්ෂකයන් හොඳටම දනිත්. නැත්නම්, නියතව රට දෙකඩ කරන පළාත් සභා 1987 ගෙන ඒමට ඒ රජයට හැකි වන්නේ කෙසේද?).

පසුගිය වසර 45 තුල සිංහල ජාතියට අහිතකර බොහෝ දේ මෙරට සිටී විධායක ජනාධිපතිවරුන් විසින් සිදුකර ඇත.  සිංහලයාගේ පසු බෑමට මූළිකම  හේතුව මෙයයි.

(දැවැන්ත පරිසර විනාශයට, වන අලි මරණ වලට, වංචා, දුෂණ බෝ කිරීම වැනි දේටද මේ අය වග කිව යුතුය).

සිංහල සංවර්ධනයට මේ ජනාධිපති වරුන් සහ ඔවුන් යටතේ තිබු ආණ්ඩු විශේෂිතව කල දෙයක් නැත.

 2009 යුද්ධය ජය ගැනීම වෙනම කථාවකි (යුද්ධය ආරම්භ වීම සහ LTTE ත්‍රස්තවාදය ව්‍යාප්තව යාමට හේතුව වුයේද විධායක ජනාධිපති තනතුරයි).

සිංහලයාට අහිතකර දේ ජනාධිපතිවරු දිගටම කරනු ඇත. එසේ නැතිව, සුළු ජාතිකයන් සතුටු කර ලබනවර ජය ගත නොහැක.

1953 හර්තාලය තුලින් ඩඩ්ලි සේනානායක අගමැති ධුරයෙන් ඉවත්ව සර් ජෝන් කොතලාවල නව අගමැතිවරයා බවට පත්වීම, 1962 කුමන්ත්‍රණය සහ 1971 ජවිපෙ ත්‍රස්තවාදී අරගලය සිරිමා බණ්ඩාරණායක විසින් ඉතාම කෙටි කාලයක් තුල සාර්ථක ලෙස මර්ධනය කිරීම වැනි දේ කළ හැකි වුයේ එකළ පැවතී සෝල්බරි ව්‍යවස්ථාව යටතේය. මේ අගමැති වරුන් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරටම පිළිපදිමින්, සිය කැබිනට් මණ්ඩල සමඟ, මේ දැවැන්ත ප්‍රශ්ණ සංකීර්ණ ඒවා බවට පත් නොකර, සාර්ථක ලෙස විසඳා ගත්හ.

ඉතාම අධි බලයක් තනි පුද්ගලයෙක් සතු වීම ශ්‍රී ලංකාව වැනි රටට ආදරය නොකරන, ආත්මාර්ථකාමීත්වයෙන් සහ කුහකත්වයෙන් පිරී , වංචනික මනසින් පිරුණා වූ වැඩි ජනතාවක් දැන් සිටින (කළින් එසේ නොවේ) රටකට උචිත නොවේ.

සිංහලයාට යමක් (දේශපාලනමය) මතක සතියකට පමණ යයි කීවේ ප්‍රභාකරන්ය.

රටට අහිතකර පුර්ණ 13 හෝ  13+ ලබා දීමට සියළු ජනාධිපති අපේක්ෂකයන් පොරොන්දු ව සිටිත් (ජවිපෙ ඇතුළු).

පූර්ණ13 හෝ 13+ නුදුරු අනාගතයේදී දීම, සහ ඒ මඟින් සිදුවන රටේ කැඩීයාම නොවැලැක්විය හැක්කකි. කපටි/ශූර TNA ගෙන යන්නේ චෙල්වනායගම්ගේ ‘අද ටිකක්, හෙට ඉතුරු ටික’ න්‍යායයි.

මේ න්‍යායට අනුව දැන් ඔවුන් බොහෝ දුර ඉතා සාර්ථකව පැමිණ ඇත. තව යාමට ඇත්තේ ටික දුරකි. දැන් පවත්නා විධායක ජනාධිපති ධුරය තුලින් එය නුදුරේදී පහසුවෙන් ලබා ගත හැකි බව ඔවුහු හොඳාකාරවම දනිති.

1972 – 1978 දක්වා වූ ව්‍යවස්ථාව (ජනරජ) මේ රටට ඉතා හොඳ සේවයක් කළේය. විධායක ජනාධිපතිත්වය ප්‍රවර්ධනය කරන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර, එම ජනරජ ව්‍යවස්ථාව වෙත නැවත අප යා යුතුයි.

පළාත් සභා අත්‍යාවශ්‍යම බව ද්‍රවිඩ දේශපාලඥයින් දැඩිව හඬ නගනු ඇත. මෙය 1987දී රජීව් ගාන්ධි මහතාගේ නොතේරුන්කමත්, කේරළයේ  උපන් JN ඩික්සිත්ගේ තනි බලවත් අවශ්‍යතාව මතත්, JRගේ බියසුළු කමත් නිසා බිහිවුවකි.

TNA වැනි ද්‍රවිඩ දේශපාලඥයින් නිහඬ කරවන ලෙසින් ඉන්දියාවෙන් සාර්ථක ලෙස ඉල්ලීමේ හැකියාවක් දැන් සිටින ජනාධිපතිතුමාට ඇත (ඔහු රට වෙනුවෙන් එම කාර්යයට අත ගසනවානම්).

වෙනත් කිසිදු විකල්පයක් නොමැති නම්, මෙම ලියුම්කරු ඉතාම විරුද්ධ පළාත් සභා සමඟ වුවද ’72 ව්‍යවස්ථාට යා යුතුය.

එය දැන් තිබෙන ව්‍යවස්ථාවට වඩා සිංහලයාට ඉතාමත්ම ගුණදායකයි.

‘72 ව්‍යවස්ථාව 1979 දී තිබුනේ නම් බෙදුම්වාදී දෙමළ ත්‍රස්තවාදය එදා විනාශ කිරීමට හැකියාව තිබුණි.  

LTTEය වසර 30ක් සාර්ථක ලෙස යුධ කලේ ඔවුනගේ තිබු දක්ෂතාවයට වඩා අපේ පාලකයන්ගේ තිබු අදක්ෂතාවය  නිසාය.

’72 ව්‍යවස්ථාව වඩා හොඳ වනුයේ එය යටතේ රටේ නායකයා වනුයේ විධායක ජනාධිපතිවරයෙක් නොව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයාය. වත්මන් ජනාධිපති තනතුර මෙන් සුළු ජාතික පක්ෂ වලට මෙම අග්‍රාමාත්‍යවරයා ‘කොනකට තල්ලු කර’ දැඩි බලපෑම්වලට යට කිරීමට නොහැකි වන්නේ මොහු/ඇය එසේ පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයේ නායකයා වීම නිසාය. ඒ අය පොහොට්ටු, සජබ, එජාප, ජවිපෙ විය හැක.

’72 ව්‍යවස්ථාව අනුව නාමික ජනාධිපතිවරයෙක් පාර්ලිඑමේන්තුව විසින් තෝරා පත් කර ගන්නවා ඇත (ඉන්දියාවේ මෙන්).

1980 ගණන් වල දෙමළ/ජවිපෙ ත්‍රස්තවාද ව්‍යාප්ත වුයේ JRගේ දුර්වල, බියසුළු සහ අමනෝඥ  විධායක ජනාධිපති පාලනය නිසාය. අග්‍රාමාත්‍ය බණ්ඩාරණායක මැතිණිය 1977දී JR ට භාර දුන්නේ දැහැමි, සාමකාමී, ණය නැති රටකි. JR  1980/90 ගණන් වල මෙය එකම ගිණි ගොඩක් සහ දුප්පත් වෙමින් යන රටක් බවට පත් කළේය.

’83 දෙමළ කළබල, IPKF, පළාත් සභා ආදිය හඳුන්වා දී ඔහු රට අවුලෙන් අවුලට පත් කළේය. මහවැළිය සහ වෙනත් ව්‍යාපෘති මඟින් මහා පරිමාණ අල්ලස් දුෂණ, වංචා කරන අයුරු ඔහු මේ රටට හඳුන්වා දුන්නේය. බලගතුව තිබු අල්ලස් කොමිසම අවශේෂ එකක් බවට පත් කළේය. පුරවැසියන් පෙළන රාජ්‍ය ත්‍රස්තවාදයක් හට ගතී. තරුණයන් ටයර් සෑය වල යැවීම 1989දී JR හඳුන්වා දුන්නේය.

1977දී පාර්ලිමේන්තුවේ 5/6  බලය ලැබුනත්, කිසි හේතුවක් නැතිව, නුවරඑළිය/මස්කෙළිය 3වෙනි මන්ත්‍රී ලෙස පත්ව සිටී CWC නායක S තොන්ඩමන් සිය ‘තුරුලට’ ගත්තේය. තොන්ඩමන්ව ප්‍රථම වරට ඇමතිවරයෙක් කලේ JRය. තොන්ඩමන් ජාතික කිරි මණ්ඩලය, පශු සම්පත් මණ්ඩලය වැනි ආයතන කෑය. 

JR කාලයේ රටේ සිටී බලවත්ම පුද්ගලයන් දෙදෙනා වූයේ කේරලයෙන් බිහි වූ ඩික්සිත් සහ තමිල්නාඩුවේ උපන් S තොන්ඩමන් බව දන්නෝ දනිති. JR සිටියේ මේ දෙදෙනාට ‘සර්’ කියන වැනි මට්ටමෙනි. ඒ තත්ත්වය හදා ගත්තේ JR විසින්මය.

’72 ව්‍යවස්ථාව යටතේ කිසිම සිංහල දේශපාලන පක්ෂයකට වැඩි ආසන බලයක් නොලැබුනත්, වැඩිම ආසන දිනු සිංහල පක්ෂයට සෙසු පක්ෂ (සිංහල එසේත් නැත්නම් දෙමළ හෝ මුස්ලිම්) සමඟ එකතුවී හවුල් ආණ්ඩුවක් සෑදිමේ හැකියාව ඇත. දැන් සිටින විධායක ජනාධිපති ක්‍රමය යටතේත් මේ දේම  සිදුවේ - පාර්ලිමේන්තුව තුල රජය කරන ආණ්ඩුව සැදීම.  

’72 ව්‍යවස්ථාව වඩා හොඳ වනුයේ ජනාධිපතිවරයා වෙනම චන්දයකින් තෝරනවා මෙන් අග්‍රාමාත්‍යවරයාව තේරීම සඳහා අමතර චන්දයක් අනවශ්‍ය වීමයි. එක් පාර්ලිමේන්තු චන්දයකින් ක්‍රියා 2ම සිදුවේ.

මේ නිසා අද ජනාධිපති තනතුරට පත්වීම සඳහා අත්‍යාවශ්‍ය නිරන්තර උතුරේ සුළු ජාතික නායකයන්, මන්ත්‍රීවරුන්න්  සතුටු කිරීම  අනවශ්‍ය වනු ඇත.

උදා: 1965 ඩඩ්ලි සේනානනයක ‘7 හවුල්’ ආණ්ඩුවේ දෙමළ නායකයන් වූ චෙල්වනායගම, GG පොන්නම්බලම්, M තිරුචෙල්වම්, S තොන්ඩමන් වැන්නන් සිටියත් (ඇතැම්හු දැඩි ජාතිවාදින්) ඩඩ්ලි සේනානනයක ඇමති පදවියක් ප්‍රධානය කලේ තිරුචේල්වම්ට පමණි (එයද ඉතා සුළු බලැති).  එම රජය යටතේ මේ කිසිවෙකුට සිය ජාතිවාදී/බෙදුම්වාදී  ප්‍රතිපත්ති මුදුන් පමුණුවා ගැනීමට ඩඩ්ලි සේනානායක ඉඩ නොදීය. සිංහල සංවර්ධන කටයුතු වල හැකි සෑම විටම ඩඩ්ලි සේනානායක යෙදීය (උද: ගල්ඔය, පදවිය නව ගොවි ජනපද බිහි කිරීම).

මේ ගොවි ජනපද ව්‍යාපෘති රාජ්‍ය ප්‍රතිපත්තිය නතර කලේ 1956 බලයට ආ SWRD බණ්ඩාරණායකයි.

19වන සියවසේ දී තමිල්නාඩුවෙන් (කොරමැන්ඩල් තීරයෙන්) මෙරටට ගොඩ බට, ලන්දේසින් සහ ඉංග්‍රීසින් සමඟ එක්ව මෙරටට විශාල ලෙස වින කලා වූ තම්බි මුදියන්සේ පරම්පරාවට අයත්වන JRට වඩා බෙලිගල් කෝරළේ (සතර කෝරළේ) මුළාරම්භය ඇති, ජාතියේ පියා වූ DS සේනානායකගේ පුත්, ඩඩ්ලි සේනානායක රටට බෙහෙවින් ආදරය කල  දේශප්‍රේමියෙක් විය. කිසිම රට කැඩීමේ ක්‍රියාවකට ඔහු ඉඩ නොදීය (රට ෆෙඩරල් කිරීමට චෙල්වනයාගම් සමඟ මුළින්ම හොර ගිවුසුම් ගැසුවේ (1956 බණ්ඩා/චෙල්වා පැක්ට්) තමිල්නාඩුවේ නීල පෙරුමාල් පරම්පරාවෙන් පැවත එන්නේ යයි කියන SWRD බණ්ඩාරණායකයි).

1995 පසු විධායක ජනාධිපතිත්වය මේ රටේ ජනතා මුදල් ගිලින දැවැන්ත සුදු අලියෙක් බවට පත්වී තිබේ.

ඇත්තවශයෙන්ම, විධායක ජනාධිපතිත්වය ආණ්ඩුව තුල තවත් ආණ්ඩුවකි.

අයවැයෙන් ඉතාම වැඩිම මුදලක් ජනාධිපති වෙන් කර ගනී. අද ජනාධිපතිගේ කාර්ය මණ්ඩලය (ආරක්ෂකයන්ද ඇතුළුව)  දහස් ගණනකි.  චන්දයෙන් පත් නොවුණු ජනාධිපති උපදේශකයෝ රොත්තකි. මේ ඇතැමුන් ඇමැතිවරුනට වඩා බලවත්ය (ජවිපෙ ජනාධිපතිවරයෙක් යටතේ මෙවැනි උපදේශක වරුන් සෑම අමාත්‍යාංශයකටම පත් කරන බව ඔවුහු කියත්. දැනටමත් මේ අය (නොනිළ ලෙස) පත් කර ඇතැයි පැරණි ජවිපෙ සාමාජිකයෙක් කියයි).

තමන් බලයට පැමිණි විට විධායක ජනාධිපතිත්වය මණ්ඩලයක් මඟින් පවත්වා ගෙන යන වැනි කථාවක් ජවිපෙ කියයි (දැන් පක්ෂය ගෙන යන අයුරෙන්?). තමනට තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති බවද මේ පෙන්වන්නේ?

මණ්ඩලයක් මඟින් දැන් පවත්නා  විධායක ජනාධිපතිත්වය පවත්නා ගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැණිය.  දැන් පවත්නේ තනි, අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක්‍රමයකි. මණ්ඩල මඟින්/වටමේස හරහා  කරන පාලනයක් ගැන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොපවසයි.

අද ජනාධිපති කාර්යාලයට අයත් වාහන සංඛ්‍යාව සිය ගණනකි. ජනාධිපති අරමුදල විගණනයෙන් තොරයි. ඔහුට/ඇයට විරුද්ධව සිවිල් නඩුවක් වත් පුරවැසියෙකුට පැවරිය නොහැකි ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරගෙන ඇත. එක් ජනාධිපතිවරයෙක් UN ඇමතීම සඳහා නිව් යෝර්ක් ගිය සංචාරයට 350ක් එකතු කරගෙන ගිය බව පැවසේ (මෙහි සත්‍ය/අසත්‍යතාවය මෙම ලියුම්කරු නොදනී). කොටුවේ බොහෝ වටිනා ගොඩනැගිලි ජනාධිපති කාර්යාලය අල්ලා ගෙන ඇත. ජනාධිපති මාවතේද කොටසක් වසා අල්ලා ගෙනය. ඇයි?

විශ්‍රාමික ජනාධිපතිවරුන් (දැනටමත් 4 දෙනෙක්) පමණක් නොව ඔවුනගේ බිරියන් මැරෙනතුරු මුළුමනින්  නඩත්තු කිරීමට සිදුව ඇත්තේ මේ රටේ දුප්පත් ජනතාවටයි.

ඉදින්, මේ 2023 වසරේත් ශ්‍රී ලංකාව 3වෙනි ලෝකයේ දුප්පත්ම රටක් (දැන් බංකොලොත් ද වේ) ලෙස පැවතීම අරුමයක් නොවේ.

සෑම පාර්ලිමේන්තු සැසියකටම සහභාගී වී, අසන ප්‍රශ්ණ වලට උත්තර දෙන , හීට්ලර් පන්නයේ විධායක බලතල නොමැති, මුක්තියට යටත් නොවුණු, රාජ්‍ය නායකයෙක් තමා මේ මේ රටට අවශ්‍ය.

රටේ ප්‍රශ්ණවලට රටේ නායකයා කෙළින්ම පාර්ලිමේන්තුවේදී පිළිතුරු නොදෙන්නේ නම් ඔහු/ඇය නියම නායක ලක්ෂණ නොදක්වයි.

එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.  

කැනඩා, මහ බ්‍රිතාන්‍ය, ඕස්ත්‍රේලියා, නවසීලන්ත පාලන ක්‍රම දෙස බලන්න - පාර්ලිමේන්තු සැසිවාරයේ සෑම දිනයකදීම පාහේ අගමැතිවරයාගෙන් ප්‍රශ්ණ ඇසීමට පැය 2ක පමණ කාලයක් මෙම පාර්ලිමේන්තුවල වෙන් කර ඇත. එම කාලය අගමැති සහ විපක්ෂ නායක අතර ඇතිවන්නේ  ‘ද්වන්ධ යුද්ධයකි’. රට වැසියා එය සජීවීව රුපවාහිනියෙන් නරඹා තම නායකයන්ගේ දක්ෂතා පිළිබඳව ස්ථාවරයකට පැමිණෙත්. චන්දනය දෙන දා ඔවුහු නිවැරදිව චන්දය පාවිච්චි කරත්. ඒ රටවල් දියුණු ඒ හෙයිනි.

නියම ප්‍රජාතන්ත්‍ර වාදය යනු එයයි. 

යලට, මහට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ (ඔහුට/ඇයට සිතුණු වෙලාවට); එසේ පැමිණ ප්‍රශ්ණ ඇසු කල්හී ඒවා අමාරු නම් ඒවාට උත්තර නොදී එතුමෝ/එතුමිය නැගිට සභා ගැබින් නික්ම යන්නේ නම් ඒ  රටට දෙයියන්ගේම පිහිටය.

රටේ ප්‍රශ්ණ ගැන රටේ නායකයා දරන මත සහ ඒවාට ඔහුට/ඇයට ඇති විසඳුම් රටේ ජනයා දැන ගත යුතුය. ඒ සඳහා ඔහු/ඇය නිතිපතා, සෙසු මන්ත්‍රීවරුන් මෙන්, පාර්ලිමේන්තුවට ආ යුතුමය.

මෙවැන්නක් නොමැති පාර්ලිමේන්තු ක්‍රමයෙන් මේ රටට ඇති පළය කුමක්ද?

‘72 ව්‍යවස්ථාව වඩාත් හොඳ වන්නේ ‘ව්‍යවස්ථාදායක සභා’ වැනි අටමගල එහි නැති වීමයි. මේවා හඳුන්වා දුන් අයගේ ඔළු පරික්ෂා කල යුතුය.  

ජනතාව විසින් චන්දය දී තෝරා පත් නොකරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු (චිට්), ප්‍රධාන ජාති 3 නියෝජනය වන ලෙස  සිවිල් සංවිධාන නියෝජියතයෝ 3ක් දැන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ය හෝ කලින් එසේ වී තිබේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

ජනතාව චන්දය දී රජයක් පත් කරන්නේ ඔවුන් චන්දය දුන් අය විසින් රට කරවීමටය. පවත්නා අය හොඳ නැත්නම් චන්දයක් මඟින් වෙනත් රජයක් ඔවුන් පත් කර ගනු ඇත. ප්‍රජාතන්ත්‍ර වාදයේ මුළීක හරය මෙයයි. ව්‍යවස්ථාදායක සභාව එයට පටහැණිය.

විපක්ෂයේ අයත් සහභාගී වන මේ සභාවේ සමහරුන් රජයේ ඉදිරි ගමනට (රහසිගතව හෝ) කකුලෙන් ඇදීම නොවැලෑක්විය හැකි කරුණකි. මෙය අද පවත්නා රජයටත්, ඉදිරියේ එන රජයනටත් මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණයකි. මේ කරදරය මෙවර ඉල්ලා  හදා ගත්තේ මේ රජයයි - 21 වන සංශෝධනයෙන්.

ඊනියා ව්‍යවස්ථා බුද්ධිමතුන් විසින් හඳුන්වා දෙනු ලැබූ පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, මහජන උපයෝගීතා කොමිසම ඇත්තටම අපක්ෂපාතීද? 

මේවාද සුදු අලිය.

ව්‍යවස්ථාදායක සභාව, මේ කොමිෂන් - නාසය කෙළින්ම අතින් ඇල්ලීමට හැකියාව තිබියදී ඔළුව වටෙන් අත දමා අල්ලනවා වැනි වැඩකි.

ඒවායේ ඇතැම් සභාපතිවරුන්/සාමාජිකයන් පක්ෂග්‍රාහීව කටයුතු කර තිබු බවට වාර්ථා පලවී තිබුණි.

පොලිස් කොමිසම නොතකා පොලිසියේ ඉහළ මාරු වීම් වෙනත් අය විසින් කර තිබු බවට පුවත් වාර්ථා වී තිබුණි.

පාර්ලිමේන්තු චන්දයක් අත ළඟ තිබියදී විදේශගත තම විශ්ව විද්‍යාල දරුවා වෙනුවෙන් විශේෂ උපකාරයක් හිටපු මැතිවරණ කොමසාරිස් වරයෙකු විසින්  එවකට සිටී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය යන ප්‍රබල චෝදනාවක් පැණ නැගී තිබුණි.

මෙවැන්නන් රජයන කොමිෂන් සඳහා කෝටි ගණන් ජනතා මුදල් වියදම් කරන්නේ ඇයි?

සිංහලයාට පෙර මේ රටේ දෙමළ මින්සුන් සිටියාය (‘ආදී දෙමළ බෞද්ධයන්’) කියා බලගතු ජාතිවාදී තර්කයන්  ගෙනෙන TNA මන්ත්‍රීවරයෙක්ද  මේ ව්‍යවස්ථා සභාවේ නුදුරේදී හිඳ ගැනීමට නියමිතය.

තමන් ජනාධිපති වූ විගස ජනාධිපති ධුරය අහෝසි කරන බව කිවූ ජනාධිපතිවරුන් 5 දෙනෙක් වත් ඇත. ඒ කිසිවෙක් ජනතාවට දෙන ලද එම පොරොන්දුව ඉෂ්ට කිරීමට ක්‍රියා නොකළහ. එනම්, මේ අය ජනතාවට බොරු පොරොන්දු දුන් අයය.

රටේ ජනාධිපති තනතුර බිහි කරන්නේ බොරු කාරයන් නම්, එවැන්නන්ගේ පාලනයකින් ජනතාවගේ අභිවෘද්දිය කිසිදා බලාපොරොත්තු විය නොහැක. මේ අය තමන් විසින් රටේ ජනතාවට, විශේෂයෙන්ම කුඩා දරුවනට, බොරු කීම යන නරක පුරුද්ද පුරුදු කර ඇති බව පිළිගත යුතුයි.

සිංහල ජනාධිපතිවරයෙක් යටතේ දෙමළ අගමැතිවරයෙක් මේ රටේ බිහි නොවුනේ අයිදැයි ජවිපෙ දුකින් අසයි. ඔවුන් ජනාධිපති වී එවැන්නක් සිදු කරන බවට ඉඟි තදින් පළ කරයි. අද ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්ණය මෙයද?

මෙවැනි දේ බලෙන් සිදු නොකළ යුතුය. ඒවා සිදු වන්නේ නම් සිදු වනු ඇත (ඔබාමා, සුනක් වැන්නන් එම රටවල මතු වුයේ නිරායාසයෙණි, බලෙන් නොවේ).

කෝටා ක්‍රමයට නොව සුදුසුකම් මත පමණක් සියළු පත්වීම් විය යුතුයි. 85%ට අධික හුටුන් සිටින රුවන්ඩාව පාලනය කරන කගාමේ සුළු ජාතික ටුට්සියෙකි.  සුනි ජාතික සදාම් හුසේන් 70% ඉක්මවා ෂියා වරුන් සිටින ඉරාකය වසර ගණනාවක් පාලනය කළේය. ඒ අය බලයට ආවේ ජවිපෙ අදහන කෝටා ක්‍රමයට නොවේ; දක්ෂකම් ප්‍රදර්ශණය කිරීමෙනි.

කතරගම පුද බිම වෙත ජනයා යාම යුටියුබ් සමාජ මාධ්‍ය කරුවන් ඉතා මැනවින් නවතා/අඩු කර ඇත. වයෝවෘධ කතරගම ප්‍රධාන කපු මහතා ‘සොරෙක්’ බව කපටි ලෙස පෙන්වා ඔවුනට අවශ්‍ය වුයේ කතරගම ‘මරා’ දැමීමද? කතරගම අද බෙහෙවින්ම හිස්ය. එම පුද බිම අවට ප්‍රදේශවල ව්‍යාපාර කරන  සිය ගණනකගේ ආදායම් බින්දුවටම මෙන් පහල බැස තිබේ.

එක් යු ටියුබ් මාධ්‍යකරුවෙක් කෙනෙක්ව ‘සොම්බි’ වෙන බෙහෙත් වල නම් ප්‍රසිද්ධියේ කියනුයේ තරුණ කොටස් ඒවා වෙත  යොමු කර, රෝගීවූ පසු, ඒ අයව මොහු විසින් ප්‍රවර්ධනය කරනු ලබන  වෛද්‍යවරයා මඟින් මුදලට ප්‍රතිකාර කිරීමටද?.

සමහර යු ටියුබ් වැඩසටහන් අනුග්‍රාහක ව්‍යවසායකයින්ගෙන් මුදල් ලබාගෙන, ඒ බව සිය ප්‍රේක්ෂකයනට නොපවසයි. මෙය සදාචාරාත්මක මාධ්‍යකාරණයක් නොවේ. අවශ්‍ය නම් මේ අයව නියාමනයට භාජනය කිරීමේ නිතී/රීති තිබිය යුතුයි. 

සමාජ මාධ්‍යකරුවනට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) වගන්තිය යටතේ පූර්ණ අයිතිය ඈත. එය වාරණය කිරීමට ගෙන එන නිතී නියතයෙන්ම පරාජය කළ යුතුයි.

R ප්‍රේමදාස මහතා මුස්ලිම් පල්ලිවලට පවා ගොස් වන්දනා මාන කළේයයි ඇතැම්හු පවසත්. මෙය සත්‍යද?

ආගම් 2, 3ට අනුව විවාහ මංගල්‍ය උත්සව ගන්නෝ වෙත්. මේ අය බොහෝ විට අති ධනවත් දේශපාලන ක්‍රියාකාරින්ය.  මේ අය බොහෝ විට මේවා කරන්නේ ජාති 3ම චන්ද ලබා ගැනීමටය.

මේ අය පසුපස යන සාමාන්‍ය ජනයා ද මේ දේම කරත්. මේ නිසා අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය අවුල් වේ.

විවාහ මංගලෝත්සව වලදී අපේ තරුණියෝ (මනාළියෝ) දැන් සාරිය වෙනුවට යුරෝපීය ගවුම වැඩි වැඩියෙන් අඳිති. මෙය අපේ සංස්කෘතියේ ප්‍රබල කඩා වැටීම පෙන්නුම් කිරීමකි.  

අද ජාතික ඇඳුම ඇඳගත් කෙනෙක් (දේශපාලනඥයන් හැරුනු විට) බෙහෙතකටවත් හොයා ගැනීම අපහසු වන්නේ දේශපාලනඥයන් මේ ඇඳුම අපෙන් 1970 අග භාගයේ පමණ සොරකම් කල නිසායි. උදයට ජාතික ඇඳුම හැඳ සවසට යුරෝපිය කලිසම්, ෂර්ට් අඳින මේ දේශපාලනඥයන් තමනටම බොරු කරගනිත්.  එදා ජාතික ඇඳුම ඇන්ඳ අපේ වැඩිහිටියන්ගෙන් ඉමහත් ප්‍රෞඩත්වයක්, ආඩම්බරකාරී පෙනුමක් විද්‍යාමාන විය. මේ අය අතර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, වෙද මහතුන්, රාජ්‍ය සේවකයෝ වුහ.

 

මෙවැනි සංස්කෘතික පිරිහීම් ගැන සමාජයේ කිසිම කථිකාවක් නැත.

සිරිමා බන්ඩාරණායක මැතිණිය සැබෑ බෞධාගමිකයෙකු ලෙස අවංක ලෙස හැසිරීය.

අපට 9වෙනි වගන්තිය (ව්‍යවස්ථාව) ලබා දුන්නේ ඇයයි.

මෙම මැතිණිය පල්ලි, කෝවිල් වලට ගොස් කෙනෙකුට ආගම් 2ක් හෝ 3ක් ඇදහිය හැකි බවට වූ  බොරු ප්‍රදර්ශනයේ නොයෙදුනාය.

මෙම ආගම් 2 සංකල්පය අද පවුල් තුල සැමියා සහ බිරිඳ දැඩි ලෙස කාමය වරදවා හැසිරීම් වල යෙදීමට ද  (infidelity) හේතු කාරකයක් විය හැක. ‘කෙනෙකුට ආගම්  2ක් හෝ 3ක් අදහන්න හැකි නම් මා හට හොර අඹුවන් ද ගන්නට බැරි මන්ද’ යනුවෙන් ඔවුනගේ චෛය්තසිකය ඔවුන්ගෙන් විමසනවා විය හැක.

වෙනත් කාන්තාවක් සමඟ නිදි වැද ඒ සැමියා කිසිත් නොදත්තෙකු මෙන් සවස නිවසට පැමිණ තම බිරිඳ (සහ දරු පවුල) සමඟ පවුල් කයි. බිරිඳද මේ දේම කරයි.

රඟපෑම් සිදුවෙන මෙවන් පවුල් වල සාමයක් නැත; විශ්වාසය බිඳ වැටී ගොසිනි.

ඒවා බිඳ වැටෙන පවුල්ය.

සමාජයට පෙන්වීමට පවුල් කැමෙන් වැඩක් නැත.

අද අප බිඳ වැටුණු සමාජයක් බවට පත්වී ඇත්තේ උසස් සාර ධර්මවලින් තොරව වැඩි තරමක් ජනයා ජීවත් වීම නිසාය.

දියුණු බටහිර රටවල් ‘අසංවර’ රටවල් ලෙස සලකන සිරිතක් අප තුල ඇත. ඒවායේ පවත්නා සංස්කෘතීන් ගැන අප හාස්‍යයෙන්/අපහාසයෙන් බලන්නෙමු. නමුත් අපට වඩා උසස් සාරධර්ම පද්ධතීන් ඔවුන් රකින බව පැවසිය යුතුය.

එම රටවල කාමය වරදවා හැසිරීමේ නිදහස ඕනෑ තරම් තිබෙන බව ඇත්තය. නමුත්, ඒ ජනයා අපේ තරම් දැඩි ලෙස සිය පවුල තුල කාම වරදන් සිදුකර, සහකරුගේ විශ්වාසය බිඳ හෙළීමේ ක්‍රියාවලීන්වල නියැළි නොවේ. අයථා සම්බන්ධ මේ රටවලද ඇත. නමුත් අපේ තරම් අතිශය රහසිගත/අද්භූත ලෙස, බහුලව නොසිදුවේ.  

ඒ රටවල බොහෝ විට සැමියා සහ බිරිඳ ඒ පිළිබඳව අනෙකාට පවසා වෙන්වීම හෝ කිසියම් අවබෝධතාමය   තත්වයක් උදා කර ගනිත්. සමාව දී, නැවත වැරදි නොකර ඉදිරියට යන පවුල් පාර්ශ්වයන් ඇත.

මේ බටහිර සමාජයන්හි දික්කසාද දැන් අඩුය (උදා: ඕසත්‍රේලියාවේ සුදු ආවේනිකයන්, එහි වෙසෙන ශ්‍රී ලාංකික/ඉන්දීය සංක්‍රමණිකයන්). 

දියුණු රටවල විවාහ වී ජීවත් වන්නන්ට (දරුවන් සිටින්නවුන් නම් දරු පවුල්  සමඟ) සමාජයේ වැඩි ගෞරවයක්, අභිමානයක් ලැබේ. ඒ නිසා, බොහෝ දෙනෙක් එම සංකල්පය අනුකරණය කිරීමට උත්සහ ගනිත්. රජයන් දරු පවුල් රැකීමට අයවැයන් මඟින් බොහෝ සහන සලසයි. අප රටේ?

ශ්‍රී ලංකාවේද තිබුනේ එවන් සංස්කෘතියකි, එය දැන් සීග්‍ර ලෙස බිඳ වැටෙමින් පවතී.

සමලිංගිකයනට හිංසා/අසාධාරණ කිරීම වැරදිය. මෙයින් කියන්නේ මේ රටේ සමලිංගික විවාහ සිදු විය යුතුය, නාගරික සහ ගම්බද සමාජ සමනළ විය යුතුය යන්න නොවේ.

සීග්‍රයෙන් බිඳ වැටෙමින් යන අපේ ගතානුගතික පවුල් සංස්ථාව ආරක්ෂා කළ යුතුවේ. මෙහි වැඩි වගකකීම රජය සතුය.

එක් වරම අධික ආදායම් බදු බර පටවන, ජනතාව මත අධි උද්ධමනය/වෙනත් බර පටවන සමයක, විවාහ වී දරු පවුලක් ආරම්භ කිරීම කෙසේ වෙතත් තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යාම කරනුයේ කෙසේදැයි නුතන තරුණ තරුණියෝ තුෂ්නිම්භූතව කල්පනා කරත්. රටේ සිදුවන විවාහ ප්‍රමාණය ඉමහත් ලෙස පහත වැටී තිබේ. දික්කසාද වැඩිවී තිබේ. තවදුරටත් වැඩිවනු ඇත.

එක් රටක්/එක් නිතීයක් වුවත්, මුස්ලිමානුවන්ට කාති උසාවි මඟින් දික්කසාද ඉතා ඉක්මනින් ලැබේ.  ඔවුනට අවශ්‍ය නම් උපරිමව විවාහ 4ක් සඳහා වුවද අයැදුම් කල හැක. සිංහලයන්/ද්‍රවිඩයන් දික්කසාද ලබා ගැනීම සඳහා වසර ගණන් රටේ දිස්ත්‍රික් උසාවි බංකු මත හිඳ  සිටිනු දක්නට ලැබේ. ඔවුනට දික්කසාදය ලැබෙන විට සමහර විට ඔවුන්ගේ දෙමව්පියන් වියපත්ව මරණයට ගොසිනි.

නැවත විවාහයක් කර ගැනීමට නොහැකි තරමට ඇතැම් දික්කසාද ලාබීහු වියපත්ව ගොසිනි; නැත්නම් අධි පීඩනයට ගොදුරුව හෝ ලෙඩ දුකින් පෙළෙති.  

යල් පැන ගිය දික්කසාද නිතී කලානුරූප කිරීමට රජයනට කිසිම උවමනාවක් නැත. බොහෝ රටවල් අද ‘No Fault Divorce’ ක්‍රමය ක්‍රියාත්මක කරයි. එය හොඳය.

(අපේ මුදලින්) 225 දෙනා පාර්ලිමේන්තුව තුල කෑ කෝ ගසන්නේ තමන්ගේ ප්‍රශ්ණ, තමන්ගේ  පුද්ගලික අයිතිවාසිකම් පිලිබඳවය. ‘මගේ වරප්‍රසාද කැඩුනා’ කියා කෑ ගසා ඔවුන් ගෙදර යති.

රටේ ජනතාවගේ ප්‍රශ්ණ, රාජ්‍ය ප්‍රතිපත්ති ගැන තාර්ථික විවාද එහි අඩුය. ඕස්ත්‍රේලියානු පාර්ලිමේන්තුවේ වසරකට නව පනත් 200ක් වත් සම්මත වේ. අපේ?

පාර්ලිමේන්තු කැන්ටිමෙන් මේ අයට ඉතාම අඩු මුදලට දෙන සුපිරි කෑම වේල වල අඩුපාඩු පිළිබඳව පවා සභා ගැබේදී ඔවුන් මතු කර ඇත. ජවිපෙ ස්ථාවරය මේ සම්බන්ධව සුභාදායකය.

නමුත්, ඔවුන්ගේ සිටින්නේ 3 දෙනෙක් පමණි. වැඩි දෙනෙක් සිටියා නම් සෙසු අය අයුරින්ම හැසිරේද? 

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අනුන්ට පහරදෙන මේ සමහර අය සමාජයේ කෙනෙක් ඔවුන්ව විවේචනය කල හොත් ඔවුන් විසින්ම සාදා ගත් ‘වරප්‍රසාද කොමිටියක්’ ඉදිරියට කැඳවීමේ බලයක් සාදා ගෙන ඇත. එයට පුරවැසියනට විරුද්ධව දඬුවම් නියම කිරීමේ පවා බලයක් ඇතැයි පැවසේ.

මේ අය සුවිශේෂී පුද්ගලයන් නොවේ. කෙනෙක් අපහාසයක් කර ඇත්නම් ඔවුන් කල යුත්තේ සාමාන්‍ය ජනතාව මෙන් ගරු අධිකරණය ඉදිරියේ නඩු පැවරීමය.

27/11/23 දින පැවති වනජීවී අමාත්‍යාංශය පිලිබඳ පාර්ලිමෙන්තු විවාදයේදී කිසිවෙක් රටේ නැතිවන අලි සම්පත සහ අලි මුහුණ දෙන නියම  ප්‍රශ්ණ ගැන කථා කලේ නැත. ‘තිරසාර සංවර්ධනයක්  අවශ්‍යය පමණක්  කියා වන අලින් මුහුණ දී ඇති මූළික ප්‍රශ්ණ ඔවුන් මඟ හැරියහ. අප උසස් කථා බලාපොරොත්තුව සිටියත්, විශේෂයෙන්ම වන්ජීවීන්ට ආදරය කරනවා යයි නම් දරා සිටින ව්‍යවස්ථාදායකයන්ගෙන් -  ඔවුන් අපව දුර්මුඛ කළහ.

වන අලි සුරක්ෂණය පිළිබඳව දීර්ඝ, පරිපූර්ණ ලිපියක් 26/11/23 දින මෙම වෙබ්අඩවියේ  අප පළ කළෙමු; අලි මැරෙණ විදියට අද රටේ වන අලින් 1500ක් වත් ඇද්දැයි අප ප්‍රශ්ණ කළෙමු.

නැවතත්, මේ දැවැන්ත ප්‍රශ්ණ ගැන අප දන්නා පරිදි කිසිම සාධාරණ විවරණයක් (අලින්ගේ පැත්තෙන්) කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේදී  27/11/23 දින සිදු කලේ නැත.

චන්ද ලබාගැනීමේ අවශ්‍යතාව නිසා දේශපාලඥයෝ සැමදාම ගන්නේ අලින්ගේ පැත්ත නොව ජනතාවගේ පැත්ත බව අප පෙන්වා දුනිමු.  27/11/23 දින එය ඔවුන් නැවත සාක්ෂාත් කර පෙන්වූහ.

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වූ, බොහෝ රටවල තහනම් ව ඇති නිකාබය/බුර්කාව නැවත උඩට පැමිණෙමින් තිබේ.  මෙය සමහර මුස්ලිම් රටවල්ද (සීමා සහිතව) ඇතුළු ලොව රටවල් 28 ක පමණ තහනම් වී ඇත.

ඒවා මේ රටේ නැවත ඇඳිය යුතු නැතැයි මුළු රටම එකළ පිළිගෙන තිබුණි. නිතී මඟින් එය එකළ  තහනම් කල හැකිව තිබුනද පිටකොන්දක් නොමැති, අද බොරුවට පාරම් බාන,  රාජ්‍ය නායකයෙක් එකළ ජනාධිපති ලෙස විය.

සෙසු ජාතීන් සමඟ මනා මිත්‍රත්වයෙන් මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනතාවගෙන් වැඩිතරය මේ ඇඳුම වලට අකැමතිය.

මුහුණ වසා ගෙන පාරේ යාමෙන් සමාජයෙන් මේ යහපත් කාන්තාවන් බලෙන්ම ඉවත් වේ. නියතයෙන්ම, සමාජය සමඟ බද්ධ වී, ඒ වෙනුවෙන්  හොඳ වැඩ කොටසක්  කල හැකි අයයි මේ අය.   

හිජාබය හොඳය.

1995 පසු රට පුරා හතු පිපෙන්නාක් මෙන් හෝටල් කාමර/මසාජ් සෙන්ටර් නමින් සමහර විට ගණිකා නිවාස  ආදිය මතු වී ඇති නිසා ස්ථිරසාර පවුල් ජිවිත කෙසේ වෙතත් තාවකාලික සතුට සොයා යාමට අප රටේ තරුණයන්/වැඩිහිටියන් වැඩි වැඩියෙන් පෙලම්භී ඇත.

මෙය අප රටේ සංස්කෘතිය/සභ්‍යත්වය කෙලසීමට ආ ප්‍රවණතාවකි - නැවතත්, 1995න් පසු ආරම්භ වූ.

අප රටේ සිදු වන අයථා සම්බන්ධ බොහොමයක් පවත්වා ගෙන යන්නේ අළු යට ගිනි ලෙසයි. ගින්දර උඩට ඒම බොහෝ විට සිදුවේ.  එවිට, සමහර ප්‍රශ්ණ නිමාවන්නේ දරුණු හිංසනමය ක්‍රියාවන්ගෙනි - කෙනෙක්ව මරා දැමීම දක්වා.

අප රටේ පවුල් තුල, අඹු සැමියන් අතර, මිනී මැරුම් දියුණු රටවලට වඩා බොහෝ වැඩිය.

සිය තරුණ බිරිඳ ස්වභාවික හේතුවකින් මිය ගොස් මාස 2ක් යාමට ප්‍රථම වෙනත් කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩ නැගු සැමියෙක් ගැන අප දනිමු.

ඉතාම කණගාටු දෙය නම් පාසැල් යන දරුවනටද මේ ආගම් 2 විගඩම, ලිංගික උත්තේජන වැනි දේ වැඩි වැඩියෙන්  ආරෝපණය කිරීම සිදු වීමයි. පෙළ පොත් වලට නොමනා ලිංගික අධ්‍යාපන පාඩම් ඇතුළු කිරීමට විරුද්ධව කටයුතු කල ගරුතර ස්වාමීන්වහන්සේට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.

කොන්ඩම් රැගෙන ළමුන් පාසැල් යා යුතුයයි වැනි දෙයක් එක් වෛය්ද්‍යවරියක් ඊයේ, පෙරේදා ප්‍රකාශ කර තිබුණි.

ඉරිදා දහම් පාසැල් ගිය දරුවා දැන් අඟහරුවාදා සවස පල්ලියේ පුජාවට යන තත්ත්වයන් මතුවී ඇත.

ළමුන් ඉරිදා දහම් පාසැල් යාම වැළක්වීමේ දුෂ්ට චේතනාවෙන් ඉරිදා උදේ ටියුෂන් කඩ පවත්වන ගුරුවරුනට විරුද්ධව නිතීය ක්‍රියාත්මක කල යුතුයි. මෙම ලියුම්කරු දන්නා පරිදි එම නිතීය උතුරේ සහ නැගෙනහිර අද ක්‍රියාත්මක කෙරේ.

දහම් පාසැල් කඩා දැමීමේ දුෂ්ට ව්‍යාපාරයන් ක්‍රියාත්මක වන බව පෙනෙන්ට තිබේ.

අපේ පන්සල් වල නායක ස්වාමීන්වහන්සේලා, ධර්ම කථික ස්වාමීන්වහන්සේලා, බුද්ධ ශාසන අමාත්‍යාංශය, කාදිනල් තුමා (9වෙනි වගන්තිය බේරා දුන්නේ මෙතුමෝය - 2015/2016දී) මෙහි සඳහන් ප්‍රශ්ණ පිළිබඳව යොමු වීම්/කටයුතු කිරීම ඉතා අවැසියි. ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම මේ අයගේ වගකීමයි.

ශ්‍රී ලංකාවේ අදත් සිංහල බෞද්ධයන් 70% හෝ 75% ඇතැයි අප පාරම් බාමූ. මෙය අප විසින් අපවම මුළා කර ගැනීමකි.  මේ රටේ අද  බුද්ධාගම පමණක් අදහන සිංහල බෞද්ධයන් 60%ක්  ඇත්නම් එය පුදුම විය යුතු කරුණකි. රටේ  සිංහලයාගේ සංඛ්‍යාව අඩු වීමත්, සුළු ජාතීන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් (මේවාට හේතු මෙහි යම් තරමින් සාකච්චා කළෙමු) මේ ප්‍රතිශත අවපාතයට ප්‍රධාන හේතුවේ.

අද කොළඹ නගර සභා සීමාව තුල (කොළඹ 1 -15) වැඩියෙන්ම කථා කරන භාෂාව දෙමළයි (දෙමළ සහ මුස්ලිමානුවන් එකතුව  කථා කරන). මේ සීමාව තුල අද සිංහලයන් 35% හෝ 40%ක් ඇද්ද? 


 
 
 

Recent Posts

See All
සිංහලයනට වන අසාධාරණ (නොහොත් සිංහලයාගේ බහිනකලාව) (8වෙනි කොටස)Posted on December 26th, 2022

චානක බණ්ඩාරගේ පිරිමින්ගේ ආර්ය සිංහල ඇඳුම තුරන් වී යාම සහ ‘කාන්තාවන්ගේ සාරිය ගැලවීමේ’ දැඩි උවමනාව අනාදිමත් කාලයක සිට මේ රටේ සිංහල ජනයා වැදගත් අවස්ථාවකට ඇන්දේ ආර්ය සිංහල ඇඳුම සහ සාරියයි. එනම් පිරිමින්

 
 
 
සතුන් ගැන - සුරතල් සතුන්, වන ජීවීන් ඇතුළත්

චානක බණ්ඩරගේ o මිනිසුන් වන අප සතුන්ට කරුණාවන්ත වූ සමාජයක් නිර්මාණය කළ යුතුය. අසරණ සතෙකුට උදව් කිරීම උතුම් ක්‍රියාවකි. o සෑම නිවසකම බල්ලෙකු, බළලෙකු හෝ වෙනත් සුරතල් සතෙකු ඇති දැඩි කරන්නේ නම් එය

 
 
 

Comments


bottom of page