ඉඳුරුවෙන් උපන් මහා ප්‍රාඥයයා – ‘නුතන 'නුතන කළමනාකාරිත්වයේ පියා’ – ආචාර්ය D.S. බණ්ඩාරගේ මහතා, අභාවප්‍රාප්ත වී අදට වසර 9යි.ආචාර්ය දේවප්‍රිය S බණ්ඩාරගේ මහතා (ආචාර්ය D.S. බණ්ඩාරගේ)
- chanakab4
- Jun 12
- 7 min read
ජයවීර එම් කුමාරසිංහ
ආචාර්ය දේවප්‍රිය S බණ්ඩාරගේ මහතා (ආචාර්ය D.S. බණ්ඩාරගේ) ශ්‍රී ලංකාවේ පිරිස් කළමනාකරණයේ/නුතන කළමනාකරණයේ පියායි. එතුමා අභාවප්‍රාප්ත වී මෙම ජුලි මස 1 වෙනි දිනට වසර 9ක් පිරෙයි. අභාවප්‍රාප්ත ආචාර්ය D.S. බණ්ඩාරගේ මහතා පිළිබඳව කෙටි ගුණ කථනයක් මෙසේයි:
නිදහස ලැබීමෙන් අනතුරුව 1972 ජනරජය බිහිවෙන තෙක් පමණ ශ්‍රී ලංකාවේ බහුජාතික සහ අනෙක් විශිෂ්ට ගනයේ ලා සැලකිය හැකි පෞද්ගලික අංශයේ සමාගම් වල අධිපති සහ ජේෂ්ඨ විධායක තනතුරු හෙබවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ කොළඹ රාජකීය/ සාන්ත තෝමස්, සාන්ත ජෝසප්/පීටර්ස් වැනි පාසැල්වල උගත්, ඉංග්‍රීසි භාෂාව තම මවු භාෂාව මෙන් කථාකරන, ඊනියා ‘ප්‍රභූ’ පරම්පරාවලට අයත් වූ අය පමණි.
ගාල්ල දිස්ත්‍රික්කයේ, සුන්දර ගමක් වන, ඉඳුරුව කයිකාවල, ඉතා වැදගත් පවුලක, වැඩි මහල් දරුවා ලෙස උපන් ආචාර්ය D.S. බණ්ඩාරගේ මහතා, කැඩිය නොහැකි යයි කවුරුත් සිතු මෙම ‘විදුරු සීලිම’ කැඩුවා පමණක් නොව, ඊනියා ‘ප්‍රභූ’ නොවන පරම්පරාවල, දක්ෂ තරුණයන්ට ශ්‍රී ලංකාවේ පුද්ගලික සමාගම් වල උසස් තනතුරුවලට පිවිසීමේ රන්දොර විවෘත කර දුන්නේය.
ඉඳුරුවේ ගුරුකන්ද ද්විභාෂා මිශ්‍ර පාසැලේ ඉගෙනුම ලබද්දී දෙවෙනි ශ්‍රේණියේ තරඟ විභාගයේදී දකුණු පළාතේ පාසැල් ළමුන් අතරින් උසස්ම ලකුණු ලබන ශිෂ්‍යායාට පිරිනැමෙන වැලෙන්ෂියා රූපසිංහ ශිෂ්‍යත්වය දිනා බණ්ඩාරගේ ශිෂ්‍යයා, කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුල් විය.
ආනන්දයේදී LH මෙත්තානන්ද, P De S කුලරත්න, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, සාගර පලන්සුරිය (කේයස් - පසු කාලයේ කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි) වැනි ගුරු පඬිවරුන් යටතේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවේය. ආනන්දයේ ‘බෝසත් ළමා සමාජය’ බිහි කිරීමට මුල්බැස කටයුතු කල බණ්ඩාරගේ ශිෂ්‍යයාගේ ආනන්දයේ සමකාලීනයන් වුයේ ආනන්ද තිස්ස ද අල්විස්, PL බර්ටි සිල්වා (හිටපු නියෝජ්‍ය තැපැල්පති), රණපාල බෝධිනාගොඩ (හිටපු ලේක් හවුස් සහාපති), LDH පිරිස් (හිටපු රාජකිය විදුහල්පති), LBT ප්‍රේමරත්න (හිටපු සොලිසිටර් ජෙනරාල්), ඩන්කන් ද අල්විස් (හිටපු කොළඹ මහ දිසාපති), ප්‍රථම සිංහල හමුදාපති සේනාරත්න වැන්නන්ය.
ආනන්දයෙන් පසු ස්වකිය උසස් අධ්‍යාපන කටයුතු සපුරා ගත්තේ ශ්‍රී ලංකා, එංගලන්ත විශ්ව විද්‍යාල වලිනි. ආචාර්ය උපාධිය ලැබුවේ ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකිනි (ඇරිසෝනා ප්‍රාන්තයේ).
තරුණ බණ්ඩාරගේ එයා සිලෝන් ආයතනයේ සමෘධි කළමනාකරු (Welfare Manager) ලෙස සේවය කරමින් සිටි සමයේ තම සමාගමට කාර්යක්ෂම, දක්ෂ, තරුණ පිරිස් කළමනාකරුවෙක් එවකට බහු ජාතික ෂෙල් සමාගමේ (Shell Company) පිරිස් පාලන අධ්යක්ෂ, සුදු ජාතික, සෙන්පති, WHS බිඉංග්, මහතා සොයමින් සිටියේය. බිඉංග් මහතාට අවශ්‍ය වුයේ ශ්‍රී ලංකාවේ වැසියෙක්ම, එම සමාගමේ පිරිස් පාලන කළමනාකරු ලෙස තෝරා පත්කර ගැනීමටය. ඔහුට බණ්ඩාරගේ මහතා හමුවිය. ඒ අනුව එම සමාගමේ පිරිස් කළමණාකරු තනතුර (Personnel Manager) බණ්ඩාරගේ මහතාට පිරිනැමුවේය. මෙරටට ආවේනික වූ පිරිස් පරිපාලන විධායක පෙලෑන්තිය ඇරඹුණේ එදා එම පත්වීමෙනි.
ශ්‍රී ලංකාවේ බහුජාතික/ප්‍රසිද්ධ පෙලේ ආයතනයක ප්‍රථම ‘කළු’ ජාතික පිරිස් කළමනාකරු (ශ්‍රී 3ලංකාවට නවීන ප්‍රථම විධායක කළමනාකරු වුයේ ආචාර්ය D.S. බණ්ඩාරගේ මහතායි.

ආචාර්ය D.S. බණ්ඩාරගේ මහතා
1950 ගණන්වල මුල භාගයේදී එවකට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බහුජාතික සමාගමක් වූ ලිවර් සහෝදර (දැන් Unilever) සමාගමේ ප්‍රථම ශ්‍රී ලාංකා ජාතික පිරිස් කළමනාකරු වශයෙන් බණ්ඩාරගේ මහතාව තෝරාගත්තේ එවකට එම සමාගමේ සභාපතිව සිටි සුදු ජාතික JD මෝල්ඩ් මහතායි. එම ආයතයනයේ වසර 20කට නොවැඩි කාලයක් ඉතා සාර්ථක ලෙස කටයුතු කල බණ්ඩාරගේ මහතා එයින් නික්ම ගියේ එම ආයතනයේ සාමාන්‍යාධිකාරි තනතුර ද හෙබැවීමෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකාවේ පිරිස්, පරිපාලන අංශ විධිමත් සහ කාර්යක්ෂම කිරීම උදෙසා පුරා වසර 60 අධික කාලයක් තිස්සේ ආචාර්ය බණ්ඩාරගේ මහතා විසින් කරන ලද කාර්ය භාරය අතිමහත්ය. එතුමා විසින් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ශ්‍රී ලංකාවේ පිරිස් පාලන කළමනාකරණය, නුතන කළමනාකරණය පිළිබඳව ලියා ඇති පොත් පත්, පුවත් පත් ලිපි, සිදුකර ඇති දේශන අති මහත්ය. එතුමා විසින් සම්පාදිත ‘Handbook of Personnel Management for Ceylon’ නමැති ග්‍රන්ථය අද දිනද පිරිස් කළමනාකරණ ක්ෂේත්රයේ අත්පොත ලෙස එම වෘත්තිකයන් විසින් පිළිගනිනු ලබත්.ආචාර්ය බණ්ඩාරගේ මහතා විසින් විවර කර දුන් ‘රන්දොර’ නිසා ප්රතිලාභ ලැබූ ‘ප්‍රභූ’ නොවන පවුල් වලින් පැවතෙන ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්රයේ විධායක නිලධාරින් අතිමහති. එතුමාගෙන් පිරිස් කළමනාකරණ සහ නුතන කළමානාකාරණ අධ්‍යාපනය හැදෑරු උසස් අධ්‍යාපන ආයතන/විශ්ව විද්‍යාල සිසුන් ගණන දහස් ගණනකි.
විශේෂයෙන්ම, ලිවර් සමාගමට ඉංග්‍රීසි කථා කළහැකි හෝ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට හැකියාව ඇති, ගම්බද සිංහල පවුල්වල උගත් තරුණ තරුණියන් බඳවාගෙන ඔවුන්ට නුතන කළමනාකරණයේ විවිධ උසස් අවස්ථා ලබා දීමට ආචාර්ය බණ්ඩාරගේ මහතා ඉමහත් වෙහෙස මහන්සිව/කැපවී වැඩ කළේය. එතුමාගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙස සිංහල බෞද්ධයන් ප්‍රථම වතාවට ලිවර් සමාගමේ සභාපති, අධ්යක්ෂ වැනි උසස්ම තනතුරු දක්වා පවා ඉහල නැඟ (1970 ගණන් වල), මෙරට කළමනාකරණ ක්ෂේත්රයේ ‘කිරුළු පලන්’ පුද්ගලයන් බවට පත්වීමට හැකි වුහ.
පසු කලෙක ශ්‍රී ලංකා කළමනාකරණ ක්ෂේත්රයේ ‘පතාක යෝධයන්’ වූ ස්ටැන්ලි ජයවර්ධන, ගිල්බර්ට් ජයසුරිය, උපාලි විජේවර්දන, සීවලී රත්වත්ත, අනුර වීරරත්න, ආරියපාල පතිරණ, උපාලි වික්‍රමසේකර, ආචාර්ය රන්ජිත් කබ්රාල් වැනි උගත්, සිංහල තරුණයන්ට ලිවර් සමාගමට බැඳීමට රන්දොර විවුර්ත කර දුන්නේ ආචාර්ය DS බණ්ඩාරගේ මහතායි.
‘සිනමාවේ සක්විති’ ගාමිණී ෆොන්සේකා මහතා 1950 දශකයේ අග භාගයේ ඉතා නැඟ එන තරුණ නළුවෙක් වූ නමුත්, ඔහුට රඟ පෑමට වඩා කැමැත්ත තිබුනේ ලීවර් සමාගමේ අලෙවි නිලධාරියෙක් (Marketing Representative) ලෙස සේවය කිරීමටය. ගාමිණී ෆොන්සේකා මහතා හොඳින් ඉංග්‍රීසි කතා කල හැකි තරුණයෙක් වූ අතර, ඔහුව ලීවර් සමාගමට බඳවා ගැනීමට JD මෝල්ඩ් මහතාට බෙහෙවින් අවශ්‍ය විය. එවිට සංදේශය වැනි චිත්‍රපටවල රඟපා ප්‍රසිද්ධියක් ලබා සිටි ගාමිණී ෆොන්සේකා මහතාට ආචාර්ය බණ්ඩාරගේ මහතා කථා කොට කිවේ ‘ගාමිණි, ඔබව ගන්න අප ඉතාම කැමතියි; ඒත් මම පුද්ගලිකව කැමති ඔබ රඟපැමේම ඉන්නවනම් නම්’ කියාය. එවිට ගාමිණි පොන්සේකා මහතා ඔහුට පවසා ඇත්තේ ‘අනේ සර් මම නම් හරිම කැමතියි ඔතන වැඩ කරන්න, ඔය පික්චර්වල රඟපාලා කාටද හරි ගියේ; මගේ ගෙදරින් කියන්නෙත් ෆිල්ම්ස් අමතක කරලා ලිවර් එකේ ජොබ් එක කරන්න කියලයි’ වශයෙනි. මෙවිට බැරෑරුම් හඬින් ඔහුට කථා කල ආචාර්ය DS බණ්ඩාරගේ මහතා කිවේ ‘ගාමිණී මම මේක කියන්නේ ඔයා ගැන හිතලා විතරක් නෙවෙයි, රට ගැනත් හිතලා, අපි යන්තම් නිදහස ලබා ගත්තා විතරයි, අපට ගොඩාක් දුර යන්න තියෙනවා. ඔබ තව ටිකක් සිතා බලා මට කියන්න’ කියායි. බොහෝ දුරට සිතු ගාමිණී ෆොන්සේකා මහතා ආචාර්ය DS බණ්ඩාරගේ මහතාගේ උපදෙස් පිළිගෙන ලිවර් සමාගමේ රැකියාව භාර නොගෙන දිගටම රඟ පෑමට ගියේය.
ශ්‍රී ලංකාවේ විවිධ පිරිස් පාලන ආයතන පිහිට්වුවිම, ප්‍රචලිත කිරීම සඳහා ඉමහත් වෙහෙස මහන්සියක් ගත් ආචාර්ය DS බණ්ඩාරගේ මහතා 1959 දී එවකට ඇසෝසියේටඩ් මෝටර්වේස් (AMW) අධිපති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා සමඟ එක්ව ලංකා පිරිස් පාලන ආයතනය (Institute of Personnel Management) පිහිටවිය. එම ආයතනයේ ප්‍රථම ලේකම් වී, ඉන්පසු වසර ගණනාවක් එහි සභාපති වශයෙන් කටයුතු කළේය. අද ඉතා ප්‍රබල ආයතනයක් බවට පත්ව ඇති IPM (දැන් CIPM) ආයතනය 1980 දශකයේ මැද භාගයේදී ස්ථිර නිවහනක් නොමැතිව වසා දැමීමට ආසන්න අඩියේ සිටියදී, එම ආයතනය සිය කොළඹ ඔලම්ස් පෙදසේ නිවහනට ගෙන ගොස්, අභාවයට නොදී, රැක ගැනීමට ආචාර්ය DS බණ්ඩාරගේ මහතා සමත් විය. IPM ආයතනය බිහිකිරීමට 1959/60 වසරන්හිදී එතුමා කල කාර්ය භාරය සැලකීමේදී එතුමා නොසිටියේනම් එවැන්නක් කිසිදා බිහිනොවන බව ආයතනයේ පැරැන්නෝ කියත්. IPM ආයතනයට කරන ලද මහඟු සේවය සලකා එම ආයතනය විසින් එතුමාව එහි ප්‍රථම ‘Fellow’ ලෙස පත් කර ගත්තා පමණක් නොව, එම ආයතනය විසින් වාර්ෂිකව පිරිනමන ‘රත්තරන් සම්මානයේ’ ප්‍රථම හිමිකරුවා බවටද එතුමාව පත් කළහ.
1970/80 දශකයන්හි ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්රයේ එවකට සිටි දැවැන්තයන් වූ මැලරි විජේසිංහ (බාට්ලිට්ස් අධිපති), මන්සුර් ගවුස්, බ්‍රිගේඩියර් CT කල්දේරා, සේන මහවත්ත, ජෙරී හිදැල්ලේආරාච්චි, ආචාර්ය ගුණපාල නානායක්කාර, MC මාතුපාල, ක්‍රිෂාන්ති දැරණියගල, HL විමලසුරිය, ඇන්ග්ලෝ ඒෂියන්හි උපාලි මහානාම, ලංකා සිමෙන්ට් හි අසෝක සෝමරත්න, සෙනරත් වනිගතුංග, ලංකා ෆවුන්ඩේශන් හි වෙසුම්පෙරුම, ක්ලෙමන්ට් රණසුරිය, නෙස්ට්ලේහි සිරිමල් කොන්ස්ටන්ටයින්, නීතිඥ ඉගලහේවා, වැන්නන් සමඟ එකතුවී විවිධ කළමනාකරණ ආයතන පිහිට විය, නුතන කළමනාකරණ පාඨමාලා බිහිකලේය; ඒවා ඉතා සාර්ථක ලෙස මෙහෙයවිය. NIBM, කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල, SLIDA, Sri Lanka Association for Advancement of Science, CISIR, ලංකා පදනම් වැනි ආයතනවලට සම්බන්ධවී ශ්‍රී ලංකාවේ පිරිස් පාලන/නුතන කලමනාකරණ ක්ෂේත්රයන් වෙනුවෙන් විශාල සේවයක් සිදු කළේය.
1965 දී ඩඩ්ලි සේනානායක රජය විසින් දින 5 වැඩ සතියක් සම්පාදනය කිරිමේ කාර්යය මෙතුමා වෙත භාර දුන්නේය. එය ඉතා සාර්ථකව ඉටු කළේය.
1970 සිරිමා බණ්ඩාරනායක රජයේ ‘දක්ෂයාට සුදුසු තැන’ දීමේ ප්රතිපත්ථිය මත, කිසිදා දේශපාලනය නොකළ ආචාර්ය DS බණ්ඩාරගේ මහතාව ජාතික පේෂකර්ම සංස්ථාවේ සභාපති ලෙස එතුමිය පුද්ගලිකවම මැදිහත් වී පත් කලාය. පාඩු ලබමින් තිබු තුල්හිරිය සහ වේයන්ගොඩ පෙහෙකම් හල් කෙටි කාලයක් තුලම ලාභ ලබන තත්ත්වයට ගෙන ආවා පමණක් නොව ජාතික පේෂකර්ම සංස්ථාව සතු පූගොඩ සහ මින්නේරිය නව පෙහෙකම්හල් ඉදිකිරීමේ අත්තිවාරම්ද එතුමා දැම්මේය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කළමනාකාරිත්ව උපදේශක (Management Consultant) වශයෙන් පිලිගැනෙනුයේ ද ආචාර්ය DS බණ්ඩාරගේ මහතායි.
ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ව්‍යාපාරිකයා ලෙස විරුදාවලිය ලබන ප්‍රකෝටිපති උපාලි විජේවර්ධන මහතාව එම උසස් තත්ත්වයට ඔසවා තැබීමට, ඔහු මිය යන තුරුම ඔහුගේ වමත සහ දකුණත ලෙස සිට, ඔහුට කළමනාකරණ සහ පෞද්ගලික උපදේශකත්වය සැපයුයේ ආචාර්ය DS බණ්ඩාරගේ මහතායි. උපාලි ගෘප් ආයතනයේ අධ්යක්ෂ ලෙසද සේවය කළේය.
1970 අග භාගයේදී කෙන්යා රජයේ ඇරයුමක් මත එම රටේ පිරිස් පාලන ක්ෂේත්රය විධිමත් කිරීමේ කාර්යයන් වසර 2ක් සිදු කළේය. එරටට කරන ලද සේවය පිළිබඳව එවකට කෙන්යා ජනාධිපති ඩැනියෙල් ඇරෝෆ් මෝයි මහතා ආචාර්ය DS බණ්ඩාරගේ මහතා ඉමහත් ඇගයීමකට ලක් කළේය.
දුප්පත් පවුල්වල දක්ෂ තරුණ තරුණියනට ශ්‍රී ලංකා කළමනාකරණ ක්ෂේත්රයේ රන්දොරටු විවෘත කර දීමට ආචාර්ය DS බණ්ඩාරගේට බොහෝ උවමනාව විය. සිය ජිවිතයේ අවසාන භාගයේදී පිරිස් කළමනාකරණය සහ අදාළ විෂයයන් පිළිබඳව පන්ති සිය නිවසේ දේශණ මඟින් නොමිලේ පවත්වා SLAS තරඟ විභාග වලට පෙනී සිටින අපේක්ෂක/අපේක්ෂිකාවන් පුරුදු පුහුණු කළේය. සෑම ඉරිදා/පෝය දිනකම එතුමාගේ පන්තිවලට සිසුන් 20-30 පැමිණ නොමිලේ අධ්‍යාපනය ලැබිමට පැමිණියහ. ඔවුනට තේ පැන්/ආහාර පාන වලින් සංග්‍රහ කළේය.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධාගමික කටයුතු නඟාසිටුවීම උදෙසා මහත්වූ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ආචාර්ය DS බණ්ඩාරගේ මහතා කටයුතු කළේය. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පතාක යෝධයෙක් ලෙස කටයුතු කල මෙතුමා කොළඹ තරුණ බෞද්ධ සමිතිය, පරම විඥ්යාර්ථ සභාව, ශ්‍රී ලංකා අමධ්‍යප සභාව, මහාබෝධි සංගමය, මහරගම සාසන සේවක සමිතිය, කොළඹ 7 සම්බෝධි විහාරය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාමය, රාජගිරියේ තපෝවනය, දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, ඉඳුරුව ප්‍රදේශයේ බොහෝ පන්සල් වැනි ආයතන/සමිතිවල අභිවුර්ධිය වෙනුවෙන් ඇප කැපවී වැඩ කළේය. විශාල වශයෙන් මුදල් පරිත්‍යාග කළේය. දිඹුලාගල හිමියන්ට අලුත්ම වෑන් රථයක් වැඩිපුරම සිය මුදල් යොදවා පරිත්‍යග කළේය.
ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම/සමුර්ධිමත් කිරීමේ වැඩ වල දිවා රෑ නිරත විය. කොටි ත්රස්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය රැක ගැනීමේ සටන් ව්‍යාපාරවල මෙතුමා පතාක යෝධයෙක් විය. ශ්‍රී ලංකාවේ එවන් වැඩ පටන් ගත්තේ, එවැනි වැඩ සඳහා වූ සංස්කෘතියක් බිහි වුයේ මෙතුමා වැනි උසස් දේශප්‍රේමින්ගේ මැදිහත් වීම නිසාය. මාදුළුවාවේ සෝභිත හිමි, මඩිහේ පඥ්යාසිහ හිමි, කීතලගල සරණංකර හිමි, අම්පිටියේ රාහුල හිමි, දරණාගම කුසලධම්ම හිමි, වැනි පණ්ඩිත හිමි වරුන් සමඟ ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළේය/වැඩ කළේය. ගිහියන් අතර ගාමිණි ඊරියගොල්ල, ගාමිණි කීර්තිචන්ද්‍ර, පද්මා බේලි (ගුණසේකර), ඩග්ලස් වික්‍රමරත්න, ආචාර්ය AT ආරියරත්න, HW අමරසුරිය, ඇල්බට් එදිරිසිංහ, L De S තුඩාවේ, JW පියතිස්ස, YR පියසේන, HK ධර්මදාස, බෝගොඩ ප්‍රේමරත්න, හේවගේ ජයසේන, ග්රූප් කැප්ටන් නිමල් විජේතුංග, ලේඛක මහානාම දිසානායක, ග්රන්ථ කර්තෘ SB සුගතදාස, අධ්‍යාපන අධ්යක්ෂ කුලතුංග, දන්ත වෛද්‍ය ද සොයිසා, ව්‍යාපාරික ගුණපාල විජේමාන්න වැන්නන් සමඟ කිට්ටුවෙන් වැඩ කළේය. ආචාර්ය ගුණදාස අමරසේකර, බෙන්ගමුවේ නාළක හිමි වැන්නන්ට ජාතික තලයේ වැඩ සඳහා පන්නරය ලබා දුන්නෙකි ආචාර්ය DS බණ්ඩාරගේ මහතා.
මවුබිම රැකගැනීමේ සංවිධානය, සිංහල බල මණ්ඩලය, සිංහල හාම්පුතුන්ගේ සංගමය, සිංහල සංවර්ධන සංවිධානය ආදිය ආචාර්ය DS බණ්ඩාරගේ මහතා ඉතා සමීපව වැඩ කල සංවිධානයි; සමහරෙක එතුමා සභාපති විය.
ජිවිතයේ අවසාන කාලයේ දුප්පත්, අහිංසක, අසරණ මිනිසුන්ට, යාචකයන්ට මුදලින්, ආහාර පාන වලින්, ඇඳුම් පැළඳුම් වලින් සිය පුද්ගලික ධනය වියදම් කර පරිත්‍යාග කළේය. එතුමා වෙහෙර/විහාර සංවර්ධයටද ඉමහත් ලෙස ධන පරිත්‍යාග කළේය.
දැන් අප අතරින් වියෝව (2009 ජූලි 1 දා), සදහටම දෙනෙත් පියාගත් ආචාර්ය බණ්ඩාරගේ මහතාට උතුම් වූ නිවන් සුව ප්‍රාර්ථනා කරමු!
එතුමාගේ වියෝවෙන් සැලෙන පවුලේ ඥාතින් අතර බිරිඳ තිලකා, දරු මුණුබුරන් අතර නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක අංශයේ අධිපති දුව වසන්තා සහ ජාත්‍යන්තර අධිනීතිඥ චානක බන්ඩාරගේ පුතා සඳහන් කල හැකියි.
You must be logged in to post a comment


Comments