කරුමක්කාරයෝහි විලිසොන්
- chanakab4
- Jun 12
- 3 min read
චානක බණ්ඩාරගේ
අන්තෝ ජටා, බහී ජටා යනු ඇතුලත් ගැට පිටත් ගැට යන්නයි. විලිසොන්ගේ ජිවීතයද එබඳුය.
ගුණපාල රූමත් කාන්තාවක් (සෝමේ අක්කා) කසාද බැඳ ගෙදර ආවේ ගමේ කඩයක්ද පටන් ගැනීමේ අරමුණෙනි.
සෝමේ අක්කා නිසා තමාගේ ජීවිතයත්, තම පවුලත්, ව්නාශ මුඛයට යාවි යයි ගුණපාල නොසිතුවා විය හැක.
සෝමේ අක්කා කාත් සමඟත් ඉතා ඉක්මනින් හිත් දිනා ගත්තීය (ගුණපාලගේ හැර).
සෝමේ අක්කා තම මළනුවන් වන විලිසොන්ට ඉතා හිතවත්ව, ඔහුව ආශ්‍රය කරනු ගුණපාල දැක්කත් ඔහු එය එතරම් ගණන් ගත්තේ නැත. ගුණපාල විලිසොන්ට වචනයකින් වත් බැන්ණේ නැත.
ගුණපාල වනාහි මෘදු චරිතයක් විද්‍යාමාන කරන, බරපතල හෝ දැඩි ලෙස ‘පිරිමිකම නොපෙන්වන’ පිරිමියෙකි.
සෝමේ අක්කාගේ කුසෙහි වූ දරුවා තමන්ගේ බව විලිසොන් දනී. වෙන කිසිවෙක් ඒ බව නොදන්නා බවයි ඔහු සිතන්නේ. ගමේ සමහරුන් කියන්නේ ඒ දරුවා ගුණපාලගේ සහ විලිසොන්ගේ තාත්තාගේ කියාය.
දරුවා ගුණපාලගේ නොවන බව නම් සැම දනිති.
තමන් සෝමේ අක්කා සමඟ ‘නැටු නැටුම්’ දන්නේ විලිසොන් සහ සෝමේ අක්කා පමණි. විලිසොන්ව ඒ සඳහා බලෙන්ම මෙන් සෝමේ අක්කා ඇද ගත්තාය. ඇය පසුව අකාලයේ මිය පරලොව ගියාය.
මේ නිසා විලිසොන් දෙලොවක් අතර තනි වීය.
ගමේ සැවෝම බනින්නේ දරුවා ලැබීමට ප්‍රථම මිය ගිය සෝමේ අක්කාට සහ ඉන් පසු ගම හැරදා ගිය තාත්තාටය. විලිසොන් ගැන කවුරුවත් කථා නොකරති.
සෝමේ අක්කා සහ විලිසොන් අතර සම්බන්ධය කඩේදී යම්තරමින් පෙනෙන්නට තිබුණු දෙයකි. ගම්මු එය නොදැන නොසිටියා නොවිය හැකියි?
ගැමියන් එසේ හැසිරුනේ ඇයි?
ගැමියන් තාත්තාට (සහ සෝමේ අක්කාට) පමණක් බැන්නේ ඇයි?
එය ගම්වල ක්‍රමයද?
ගැමියන්ට සත්‍ය අනවශ්‍යද?
නැත්නම්, ඔවුන්ගේ ඉලක්කය, ඔවුනට පහර ගැසීමට අවශ්‍ය වුයේ උග්‍ර සමාජ විරෝධී, නරුම වැඩක් කල තාත්තාද?
ගුණපාල සහ අක්කා තාත්තාට පමණක් බනින ලෙසින් සියළු උල්පන්දම් දුන් නිසාද?
ගමේ සැවොම බනින්නේ තමනට නොවීම විල්සොන්ට තාවකාලික අස්වැසිල්ලකි, බරපතල ප්‍රශ්නයෙන් ආවරණයකි.
සෝමේ අක්කාගේ අභාවයෙන් පසු ගමේ ඉන්නම බැරි වීම නිසාය තාත්තා ගම හැරදා ගියේ. සිය පවුලට (ගුණපාල, අක්කා සහ විලිසොන්ට) ලිපියක් ලියා ඔහු සමාව අයැදීය. නමුත් කරන ලද වරද කුමක්දැයි ඔහු එහි සඳහන් කලේ නැත.
නැවතත් - සත්‍ය තත්ත්වය දන්නේ විලිසොන් පමණි. සෝමේඅක්කා සහ තාත්තා අතර සම්බන්ධයක් තිබුනායි ව්‍යංගාර්ථයෙන් බොහෝ අය කියත්. නමුත්, විලිසොන් මෙය විශ්වාස නොකරයි. ‘මා නිසා තාත්තා නිරපරාදේ දොස් අසනවා’ කියා විලිසොන් සිතුවාද?
විලිසොන් මුහුණ දෙන මානසික ව්‍යාධිය අති බිහිසුණුය. එයින් ගැලවීම වස් විලිසොන් සසුන් ගත වීමට සිතයි. ගොස්, හාමුදුරු කෙනෙක් හමුවේ.
එතැනට එන ගුණපාල විලිසොන්ට පවසන්නේ විලිසොන් සහ සෝමේ අක්කා අතර තිබු සම්බන්ධය ගුණපාල දන්නා බවයි. නමුත්, ගුණපාල විලිසොන්ට නොබනී. තාත්තාට නැවතත් බනී.
මෙය විලිසොන්ට අස්වැසිල්ලක්ද? විය හැකියි.
මන්ද, ගුණපාල තවමත් විලිසොන්ට ද්වේශ නොකරන නිසාය. ඔහුද බනින්නේ තාත්තාටය.
සමාජය විලිසොන්ට නොබනී; නමුත් විලිසොන්ගේ අභ්‍යන්තරය ගිනි ජාලාවකි.
විලිසොන් සසුන් ගතවීමේ ආශාව අත් නොහරියි.
සෝමේ අක්කා තදින් අසනීපව මහ මෝදර ඉස්පිරිතාලයේ සිටියදී විලිසොන් ගුණපාල හමුවීමට රත්නපුරයට යයි (ගුණපාල එවිට සෝමේ අක්කා ගමේ තබා, මැණික් ගැරීමට රත්නපුරයට ගොස් තිබුණි).
රත්නපුරයේදී ගුණපාල විලිසොන්ට කීවේ මෙයයි:
‘මම අක්කාව මාත් එක්ක මෙහෙ ගේන්න හදනකොට තාත්තා එහෙම ගේන්න දෙන්න බැහැ කීවා’.
සෝමේ අක්කාට ප්‍රතිකාර පිණිස මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් ගුණපාල විලිසොන්ට කීවේ ‘භාරගත්තා නම් දැන් ඉතින් එයාටම කරන්න කියන්න’ කියායි.
සෝමේ අක්කාගේ මරණයට ගුණපාල සුසාන භූමියට පවා පැමිණ නොසිටියේය.
මේ ලියුම්කරු ගුණදාස අමරසේකර ශූරින් සමඟ ඕස්ත්‍රේ ලියවේ හෝටලයක දිවා ආහාරය ගතී. එහිදී අප ‘කරුමක්කාරයෝ’ ගැනද කථා කළෙමු. එහිදී ඔහු කිවේ ‘මා කරුමක්කාරයෝ පොත ගැන ආඩම්බර වෙන්නේ නැහැ’ කියායි. ඒ එතුමාගේ නිරහංකාර කම විය හැකියි. 1960 ගණන්වල හොඳම නවකතථාව ලෙස ශ්‍රී ලංකාවේ ඒකමතිකව පිලිගැනුනේ කරුමක්කාරයෝ නවකතාවයි.
පොතේ එන තාත්තා, ගුණපාල, විලිසොන්, සෝමේ අක්කා, අක්කා, දෙනියේ මහත්තයා චරිත එදා - 1950 ගණන්වල ග්‍රාමීය ශ්‍රී ලංකාවේ සත්‍ය චරිතය. ඒවා සත්‍ය විය හැකි සිදුවීම්ය.
අදත් මේ දේවල් සිදුවේ, වෙනත් රටවලද එසේය.
නමුත්, අද (වර්තමානයේ) ශ්‍රී ලංකාවේ ඒ දේවල් සිද්ධ වන්නේ එදාටත් වඩා අවිනීත, අසභ්‍ය, රෞද්‍ර සහ දුෂ්ට ලෙසයි. මෝටර් සයිකල් හෙල්මටයෙන් ගසා, කිසි වරදක් නොකළ වැඩිහිටියෙකුව පාසැල් සිසුන් විසින් මරා දමන ලද්දේ මේ නොබෝදාය.
ඉන්සෙස්ට් (incest) එදා සමාජය අසාවත් නොතිබූ දෙයකි. මෙය පියවරුන් විසින් පටන් ගත්තේ අප අපේ කාන්තාවන් රට පැටවීමට පටන් ගත් පසුයි (70 දශකයේ අග පමණ සිට).

Comments