නගරාලංකාරයට ජනතාවගේ මානසික සුවය/නිදහස් වින්දනය සුරැකීම ද අඩංගුයි; සහ අප විසින් නිරපරාදේ විනාශ කර දමන ලද පරිසරය/ධනය
- chanakab4
- Jun 12
- 8 min read
චානක බණ්ඩාරගේ
1. 1950/60 ගණන් වල යුරෝපිය රටවල කොළඹ නගරය හැඳින්වුයේ උද්‍යාන නගරය (garden city) යනුවෙණි. එදා කොළඹ තිබු ක්‍රීඩා/තන පිටි වලින් 40% පමණ අපි අද නැති කරගෙන ඒ තැන්වල ‘කොන්ක්‍රීට් වනාන්තර’ සාදා ඇත්තෙමු. වැඩිවන ජනගහනයට අවශ්‍ය වන විවිධ ගොඩනැගිලි නිසා රජයන් කොළඹ උද්‍යාන නැති කර දැමුහ. විශාල ඉඩම් පරාසවල ගොඩනැගිලි තනනවාට වඩා අහස උසට යන ගොඩනැගිලි තැනීමෙන් උද්‍යාන භුමි රැක ගත හැකියි.
2. එදා, බොරැල්ල කැම්බල් පිටි භුමිය තණකොළ පිරිණු පිටි 5 - 6 කින් සැදුම්ලත් දැවැන්ත නිදහස් පිටියකි. අද එහි ඇත්තේ තණකොළ ක්‍රීඩා පිටි 2ක් පමණි.
3. වසර ගනණාවක් කොලඹ මැද, විහාරමහාදේවි උද්‍යානය අද්දර තිබු තිබුණු දර්ශනීය නොමෑඩ්ස් ක්‍රිකට් තන නිල්ල සහ එතන තිබු ගහ කොළ එතැනින් ඉවත් කර ඔපරා නැති ඔපරා ශාලාවක් සදා ගතිමු. BMICH මෙන් නොව, එහි පුටුවල කකුල් දිග හැර ගැනීමටවත් ඉඩ නැත. පුටු ඇන්දේ අත තැබූ විට අනෙකාගේ අතේ හැපේ.
4. කොළඹ 5 ජාවත්තේ තිබු ලේඩිස් හොකී ක්‍රීඩා පිට්ටනිය නැති කර එතන රූපවාහිනී සංස්ථාව බිහි කළෙමු.
5. කොළඹ 7 මැද තිබු රාජකීය කොළඹ ගොල්ෆ් ක්‍රීඩා තන නිල්ලෙන් අක්කර 500 පමණ අත් පත් කරගෙන BMICH ගොඩ නැගුවෙමු.
6. කොළඹ 7 මැද තිබු රේස් කෝර්ස් පිටිය අක්කර දහස් ගණනක් විශාල වූ තුරඟ තරඟ පිටියක් විය.
7. එදා, හවසට තරුණයෝ එකතුවී ෆුට් බෝල් ගැසූ හයිඩ් පිටියත් (දැන් නමද වෙනස් කර ඇත) මේ ලඟකදි එය තවත් පුංචි කර නැවත හදා ඇත. දැන් එතන තිබිමට හැකි දේශපාලන මිටීම් පමණයි වාගේය.
8. විහාරමහාදේවි, පේරාදෙණිය, නුවර එළිය, නුවර වේල්ස්, හෙනරත්ගොඩ, සීතාවක, නුවරඑළියේ හක්ගල - මෙවැනි මාහැඟි උද්‍යාන නගර මධ්‍යයන්හි පිහිටවුයේ (සුද්දා විසින්) විඩාපත් ජනයාට ඒවාට පිවිස, විඩාව නිවා, නිස්කලන්කව ඔවුනට ඒවායෙහි කාලය ගත කිරීමට ඉඩ දීමටයි; ස්වභාව සෞන්ධර්යයේ රස විඳීමටයි. අප හිතු හිතු පරිදි මේවා තුල ඇවිදින මං තීරු, කෑම කඩ, ළමා ක්‍රීඩා පිටි ආදිය බිහිහොලොත් මේ උද්‍යාන පිහිටුවීමේ මුල් අරමුණ නැතිවේ. ඒ මුල් අරමුණ සාකෂාත් කරගැනීම සඳහා එන පුද්ගලයන් අඩුවී, නව අරමුණු සාක්ෂාත් කරගැනීමට එන අයගේ සංඛ්‍යාව වැඩි වේ.
9. විශේෂයෙන්ම කොළඹ විහාරමාහාදේවි උද්‍යානය සාදනු ලැබුවේ නගර මැද කලබලකාරී පරිසරයෙන් ඈත්වී නගරයේ ජනයාට කිසියම් මානසික සුවයක්, නිදහස් වින්දනයක් ලබාදීමටයි. එය අතිශය චමත්කාර ජනක උද්‍යානය විය. බොහෝ ගස්වැල්, අඳුරු ස්ථාන, නුග, නා, මාර, කළුවර, මැහෝගනී වැනි වසර සිය ගණන් පැරණි දැවැන්ත වෘක්ෂයන්, පොකුණු, ගුහාවල්, දර්ශණිය මල් පාත්ති ආදියෙන් පිරි, ජනාකීර්ණ නොවූ, කොලඹ හරි මැද පිහිටි නිසංසල පරිසරයක් විය. අද, එහි එදා තිබු ඒ ගුප්තාත්මක සහ විවිධාකාර භාවය නැත හෝ අඩුය. අලුතින් ඉදිකර ඇති ඇවිදින මං තීරු නිසා එය ව්‍යායාම කරන්නන්ගේ පාරාදීසයක් වී ඇත. ළමා පිටිය ඉතාම ජනාකීර්ණයි; ඒ අතර කෑම කන්න එන අයගෙන් ඒ ප්‍රදේශය පිරී ඉතිරි ඇත. මේවා නිසා මෙම උද්‍යානය බිහිකිරීමේ මුලික පරමාර්ථය වෙනස් වීද?
10.විහාරමහා දේවිය අපේ රටේ පහලවූ උසස්තම කුල කාන්තාවකි. ඇගේ නමින් පිහිටවා සිටින ඒ දැකුම්කලු උද්‍යානයේ ඇගේ පිලිරුවෙන් ඇය වැඳ ගෙන සිටින්නේ එම උද්‍යානයේම පිහිටුවා සිටින දර්ශනීය බුදුන් වහන්සේගේ පිළිමයට නොවේ; ඇය වැඳ ගෙන සිටින්නේ වෙනත් ආගමික සිද්ධ ස්ථානයකට නොවේද? ගිහිං බලන්න.
11.විඩා පත් කොළඹ නගර වැසියාට හෝ පිට පලාතකින් කොළඹට පැමිණෙන කෙනාට එදා මෙන් නොව අද විහාරමාහාදේවි උද්‍යානයේ තන බිම මත හෝ උද්‍යාන බංකුවක් මත පැයක් දෙකක් නිදා ගෙන යාමේ හැකියාව බොහෝ දුරට අවහිර වී ඇත.
12.ඉතුරුවූ/කැලි කසල පිරි බඳුන්වල ආහාර කෑමට කාක්කන් දැන් සිය දහස් ගණනින් විහාරමහා දේවි උද්‍යානය පිරි තිබේ. ඒ වගේමයි, ඌරු මී උවදුර. කොකුන්, හංසයන් වගේ සතුන්ට නිදහසේ සැරිසැරීමට ඇති අවකාශය අඩුවී ඇත.
13.කාක්කන් විහාරමහාදේවි උද්‍යානයේ උස ගස් වල වසා සිටින අද කොළඹට දුර්ලභ වූ වවුලන්ට තර්ජනයකි.
14.සුද්දන්ගෙන් අපට ලැබුණු තවත් යහපත් දායාදයකි ගාලු මුවදොර තන නිල්ල. ඒ අය අපට දුන්නේ ඉතා දිග, මනා පළලකින් යුත් කොළ පැහැයෙන් වැසුණු තන නිල්ලකි. ලෝක උරුමයකට පවා එය සුදුසුකම් ලබයි. අද අපි එය හැමතැනම මැද්දෙන්/පැතිවලින් කඩා, කුඹුරුවල නියරවල් මෙන් සදාගෙන ඇත. සමහර තැන් පස් පමණි, තණකොළ ඉතා අඩුය. පිටියේ මුල් පළල බොහෝ සෙයින් අඩු කරගෙන ඇත.
15.පසුගිය කොරෝනා කාලයේ මෙහි තණකොළ වවනා මුවාවෙන් වැඩියෙන්ම කර ඇත්තේ එහි ගාලු පාර පැත්තේ අළුතීන් කෑම කඩ (කැෆේ) 10ක් පමණ තැනීමයි. මේවා යම් දවසක විවෘත කරනු ඇත. මේවායේ මත්පැන් විකිණීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ නව ගොඩනැගිලි නිසා ගෝල්ෆේස් තන නිල්ල තවත් පළලින් අඩුවී තිබේ. මේවා කුලියට දෙනු ලබන්නේ කාටද? පවුලට? ගජ මිතුරන්ට?
16.දැනටමත් එවැනි බාර්/රෙස්ටොරාන්ටයක් ගාළු පාර පැත්තෙන්, ගාළු මුවදොර හෝටලය පසු කල විට, තන නිල්ලට වන පිවිසුමේ පිහිටුවා ඇත. ගාලු මුවදොරටවත් නැති දැවැන්ත නියෝන් විදුලි සංඥයා පුවරුවකින් එහි ස්ථිර පැවැත්ම තහවරු කර ගෙන ඇත. හරියට, ඔවුන් ගාලු මුවදොර අයිති කරුවන් වාගේය. එයට එන වාහන තන නිල්ල මැද පාර්ක් කර තිබෙනු දක්නට ලැබුණි. මෙයින් නිකුත්වන සජීවී සංගීතය තන නිල්ල පරිහරණය කරන සෙසු මහජනතාවට හිරිහැරයකි.
17.ඉස්සර අප ගෝල්ෆේස්, විහාරමාහාදේවි පාර්ක් ගියේ සාමකාමී, නිහඬ වින්දනයක් ලැබීමටයි; ස්වාභාවික පරිසරයේ ආශ්වාදය රස විඳිමටයි. දරු පවුල සමඟ නව රසාස්වාදයක්, අත්දකිමක් ලබන්නයි. ඒ ස්ථාන එදා සුද්දා හැදුවේ කෑම කන්න යාමට නොවේ, ඒවාට වෙන තැන් නගරයේ තිබෙන නිසා. අද ගෝල් ෆේස් තන නිල්ල (කොරෝනාවට ප්‍රථම) තනිකකරම වාගේ කෑම කන ස්ථානයක් බවට පත්වී තිබුණි - විශේෂයෙන්ම මස් කෑම විකුණන ප්‍රධාන තැනක් බවට පත්වී තිබුණි. මේ නිසා වෙනදා නොතිබුණු කසළ හා අප ද්‍රව්‍යය, වෙනදා නොසිටි තඩි බලලුන් තරම් වූ ඌරු මියන්, කැරපොත්තන්, මැස්සන්, කාක්කන්, දඩාවතේ යන බල්ලන් ආදී ලෙඩ බෝ කරන සතුන්ගේ තෝ තැන්නක් ව තිබුණි. මෙය අප රටේ ඉතාම වැදගත් ස්ථානයකි, රජය හුදු ආදායම් ලැබීම තකා සීමා විරහිතව එයට වානිජත්වයක් ආරෝපණය කරන ලදී.
18.ප්‍රශ්නය එහි සිටින කඩල, වඩේ, අයිස්ක්‍රීම් වෙළෙන්දන් නොවේ; බත්, පරාටා, 'රයිස්', කොත්තු වැනි කෑම කඩයි. බොහෝ කෑම කඩ පිරිසිඳු බවින් ඉහළ ගුණාත්මයකට පැමිණ තිබුනේ නැත.
19.ව්‍යායාමට, සැඳා සුව වීඳීමට සවසට ගෝල්ෆේස් ගිය බොහෝ අය ඒ යාම අත්හැරියහ. කෑම සංස්කෘතිය මුළු තනනිල්ලෙන් භාගයකට වඩා අල්ලා ගැනීමත්, සවස 7ට පමන මස් පිලිස්සීමෙන් වහනය වන දැඩි තෙල්/ග්‍රීස් මිශ්‍රිත වාතාශ්‍රය නිසා පිරිසිඳු වාතාශ්‍රයක් ලබා ගැනීමට නොහැකිවී ගිය නිසාත් වෙනත්, බොහෝ කරුණු නිසාත්ය.
20.ගෝල්ෆේස් තන බිම මත සරුංගල්, ළමා ප්ලාස්ටික් බෝනික්කෝ වගේ සෙල්ලම් බඩු මහා පරිමාණයෙන් විකුනන අය එහි බිම් තීරු අල්ලා ගෙන තිබීම නිසා සාමාන්‍ය මිනිසුනට නිදහසේ ගමන් කිරීමට තිබෙන ඉඩ ප්‍රදේශ ඇහිරී යයි. සරුංගල් කඩ ලඟින් රෑට යෑම භයානකයි; මන්ද ඒ සරුංගල්වල නුල් වලට පය පැටලී වැටෙන අය බොහෝයි.
21.ගෝල්ෆේස්, විහාරමාහාදේවි උද්‍යානයේ කෑම විකුණන පැති කුණු කෑම, කුණු බක්කි නිසා 'විනාශ' වී ගොස් තිබුණි. ජනාකීර්ණ දවස්වල කළුවර වැටුණු පසු සමහර මිනිස් කණ්ඩායම් ගෝල්ෆේස් තන බිමේ බිම වාඩිවී සඟවාගෙන අරක්කු, විස්කි, බියර් වැනි දේ බොන බව දක්නට ලැබුණි. සිගරට්ද බොති, මේවා නිසා එම ස්ථාන විනාශ වී යයි. හොඳ, යහපත් මිනිසුන් ඒම අඩු වේ. කුඩා ළමයිනට දිවීමට, පැනීමට, සෙල්ලම් කිරීමට, නිදහසේ දෙමව්පියන් සමඟ කාලය ගත කිරීමට වූ සුදුසු පරිසරයක් එහි එන්න එන්නම අඩුවේ.
22.මේ මෑතක් වනතුරු දරුවන් රැගෙන ගෝල්ෆේස් ගොස් රැල්ල පෑගු අයට අද එසේ කල නොහැක. පෝර්ට් සිටියට පින්සිද්ද වෙන්න ඒ තිබුණු වෙරළ දැන් නැත. උරහිස ලඟට වතුර එන වෙලාවල් බොහෝයි. ගෝල්ෆේස්හි මුහුදට බැසීමට තැනින් තැන ඉදිකර තිබු පඩි පෙලවල් ද ගලවා දමාය. පෝර්ට් සිටිය පැත්තේ නව වෙරළක් සකසා ඇත.
23.ඈත මුහුදේ යන නැව් වලට දැන් ජනාධිපති කාර්යාලයට ලක්‍ෂණට පෙනේ; ප්‍රථාපවත් අපේ ඒ ගොඩනැගිල්ල. මුහුදෙන් බැලු විට එයත් වැසී යන විදියටයි පෝර්ට් සිටිය නිර්මාණය කර ඇත්තේ.
24.පෝර්ට් සිටි නව නගරයෙන් එන ඉතා උස ගොඩනැගිලි වලින් දැනට ඉන්දියන් සාගරය උඩින් අපට දක්නට ලැබෙන නිල්වන් අහස මැකී ගොස් මුළු ගාලු මුවදොර පැත්තම කළුවී, අඳුරු වී යා හැකියි; විශේෂයෙන්ම ජනාධිපති කාර්යාලය, කිංග්ස්බරි, ගලදාරි, හිල්ටන් සහ ෂැන්ග්රි ලා වැනි හෝටල අවට පෙදෙස්. මේ නව නගරය ඉතා ප්‍රවේශමින් නිර්මාණය කල යුතු එකක්, මුලින්ම ‘වරද්දා ගතහොත්' පසුව සාදා ගත නොහැකියි.
25.පෝර්ට් සිටි නව නගරයට අවශ්‍ය වන බලශක්තීන් සෝලර්, සුළං, මුහුදු රැල්ල, සුළං මෝල්, වැනි පරිසර හිතකාමී මාර්ගවලින් ද ලබාගැනීමට පියවර ගත යුතුයි. කැලි කසළ බැහැර කිරීමද කැලි කසල ප්‍රතිචක්‍රීයකරණය වැනි පරිසර හිතකාමී මාර්ගවලින් ද විය යුතුයි. වාහන නැවත්වීම පොලොව යට සහ උස, මහල් ගොඩනැගිලිවල කල යුතුයි.
26.පෝර්ට් සිටි නව නගරය උවමනවාට වඩා හෝටල, සමාජ ශාලා, ඩිස්කෝ, කැසිනෝ, ඇමරිකන් වැනි කෑම විකුණන ආපනශාලා වලින් පිරි, බටහිර සංස්කෘතියේ අංගෝපංග වලට පමණක් මුල් තැන දෙන තැනක් නොවිය යුතුයි. අපේ දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය, ප්‍රෞඩ ඉතිහාසය, බුද්ධාගමට සහ අපේ සෙසු ආගම් සහ සංස්කෘතීන් වලටද (ආදීවාසින් ද ඇතුලත්) නිසි තැන ලැබෙන පරිදි එය නිර්මාණය කිරීමට දැන් සිටම වග බලා ගත යුතුය.
27.උද්‍යාන, සක්මන් මාර්ග, ජල පොකුණු, වතුර මල්, භාවනා/යෝගා සඳහා ස්ථානයන්, ලංකාවට ආවේනික විවිධ ශාක වර්ග එහි විය යුතුයි.
28.පෝර්ට් සිටියට මුහුද පිරවීමට කළු ගල් ගෙනවිත් ඇත්තේ ඔරුවල, අරංගල, අතුරුගිරිය පැත්තේ විශාල කළු ගල් පර්වත කැඩීමෙන්; දැන් ඒ පැති වෙනදාට වඩා ඌෂ්ණයි, සමහර ලිං වල වතුරත් හිඳී ඇති බව ඒ පලාත්වල වැසියන් කියත්. වැලි හාරන නැව් ගොස් උස්වැටකෙයියාව, බෝපිටිය, පමුනුගම ආසන්න ප්‍රදේශවල මුහුදු පත්ල දක්වා හාරා වැලි ලබාගෙන තිබේ. ඉදිරියටත් මේ දේවල් සිදුවනු ඇත.
29. පෝර්ට් සිටියේ නව ගල් බැමි වලින් නවතවන ලද මුහුදු රැල්ල වෙනත් කොහේ හෝ වෙරළනට ගැසිය යුතුමයි. මේ නිසා කොල්ලුපිටියේ සිට ගල්කිස්ස දෙසට මුහුද කෑම වැඩිවී ඇත. අනිත් පැත්තෙන්, මුහුදු කෑම මෝදර, උස්වැටකෙයියාව, පමුනුගම, මිගමුව, හලාවත දක්වා පැති වල ඉතාම වැඩි වී ඇත. වාරකන් කාලයට මේ ප්‍රදේශවල ඇති ඉතා වටිනා ඉඩම් තදින්ම ඛාදනයට ලක්වේ.
30.පෝර්ට් සිටිය ගොඩ නැගීමට මොන තරම් අපේ කැලෑ වල ගස් කැපීමට සිදු වේද? මොන තරම් ගංගා වැලි අවශ්‍ය වේද? මේ එන චීන ජනයාට සැපයීමට අවශ්‍ය තරම් මස්, මත්ස්‍ය නිෂ්පාදනයක් අපට තිබේද?
31.පෝර්ට් සිටියේ වැඩට නව චීන ජාතිකයන් දස දහස් ගණනින් පැමිණෙනු ඇත. මේ අය උපයන ආදායම නැවත චීනයට යවනු ඇත, පෝර්ට් සිටියෙන් අපේ ආර්ථිකයට ඍජු සෙතක් සැලසේද? කම්කරු වැඩ හැර අපේ අයටද විධායක ශ්‍රේණි වල රැකියා අවස්ථා ලැබේවීද?
32.පෝර්ට් සිටිය විවෘත කල පසු, ශ්‍රී ලාංකික අපට එයට ඇතුල්වීමට අවසර ගැනීමට සිදු නොවේවා යයි පතමු.
33.ශ්‍රී ලංකාවේ පාරවල් තරම් බිල් බොර්ඩ් වලින් පිරුණු තවත් රටක් වේද? පළාත් පාලන ආයතනවල අද ප්‍රධාන අදායම් මාර්ගයවී ඇත්තේ දසුනට ඉතා අප්‍රිය මේ දැවැන්ත බිල් බෝර්ඩ් සහ විවිධාකාර අලෙවි සංඥ්යා බෝර්ඩ් වලින් ලැබෙන මාසික ආදායමය. දියුණු රටවල එසේ නොවේ. සෑම දෙයටම නියාමනයක් තිබිය යුතුය.
34.දකුණේ තිබුණු හොඳම බීච් එක නැතිකර අප එහි නැව් නොඑන වරායක් හැදුවෙමු. දැන් විදේශිකයෝ අපේ රටට අයත් එම වරාය වසර 99කට අල්ලා ගෙනය. වල්අලි, මොනරු, සිවලුන්, වඳුරන්, සිටිනා වටිනා කැලය කපා ප්ලේන් නොඑන ගුවන් තොටුපොළක් හැදුවෙමු. අලි ඉන්නා රූස්ස මහා කැලය කපා, තිබෙන ජාත්‍යාන්තර ක්‍රිකට් පිටි මදිවට තවත් අලුත් එකක් (මේ මඟින් දඹුල්ල වසා දමන වැනි තත්ත්වයක්) හැදුවෙමු. මේවා සෑදීමට ගිය අති දැවැන්ත විදේශ ණය වලින් අඩුම තරමින් මිනිස්සුන්ට සුවපහසුව යාමට කොළඹ පොළව යට මෙට්‍රෝ උමං දුම්රිය මඟක්, අළුත් නවීන බස් සහ විදුලි කෝච්චි යෙදෙව්වේ නම් එය රට වැසියන්ට ඉමහතක් සෙතක් වීමට තිබුණි. තමන් දිනපතා මොන තරම් දුකක් විඳිනවද කියා දන්නේ ඒ බස්, කෝච්චි වල පොඩිවී, තෙරපී යන මිනිසුන් පමණි. දුර්ජන පාලකයෝ V8 කාර්, නවීනතම ජීප්, බෙන්ස්, BMW කාර් වල යති.
35.ඔවුන්ගේ ආරක්ෂාවට ඩිෆෙන්ඩර් රථ වලින් සුදු ග්ලව්ස් එලියට දාගත් ඇමති ආරක්ෂක නිලධාරින්, ට්‍රැෆික් ජෑම් පන්නාගෙන, ඒ අයව ඔවුන්ගේ ස්ථාන කරා ගෙන යත්. මේ අය පාරේ සිටින පොලිසියට ටෙලිෆෝන් කර කියන්නේ පාර 'ක්ලියර්' කර දෙන ලෙසයි; මේ නිසා මහජනයා දුක් විඳින ට්‍රැෆික් ජෑම්ස් ගැන පාලකයනට කිසිම දැනීමක්/හැඟීමක් නැත.
36.නෙලුම් කුළුන මුදල් කාබාසිනියා කල තවත් නිෂ්ප්‍රයෝජන, මෙගා ප්‍රොජෙක්ට් එකකි. තව රටක් පරයන්න තරගෙට උස ගොඩනැගිලි හදන වකවානුව ඉවර වී බොහෝ කල් බව පාලකයන් දැන නොදැන සිටියේ මන්ද?
37.කෙසේ වෙතත්, නෙලුම් කුලුනෙන් රටේ වැසියන්ට ආත්ම අභිමානයක් සහ තම රට ගැන ආඩම්බරයක් එන්නේ නම් එයද ධනාත්මක දෙයකි. මෙය නිසා, ඔවුන් ධෛර්යමත් වී, රටට තිබෙන ආදරය, ගෞරවය වැඩි වුවහොත්, එයින් හොඳ පුරවැසියෝ, රාජ්‍ය/පෞද්ගලික අංශයේ සේවකයෝ බිහිවුවහොත්, රටේ ආර්ථික වර්ධනයට එය ඉවහල් වේ. නමුත්, මේ තාක් එවැන්නක් සිදුවී යයි සිතිය නොහැක. එය දකින ජනතාවට ඇතිවන්නේ කෝපයකි.
38.නෙලුම් කුළුන, විදේශ සංචාරකයෝ ඇදී එන තෝතැන්නක් කරගත්තොත් විදේශ විනිමය උපයා ගැනීමට හැකි ස්ථානයකි. දේශීය සංචාරකයන්, විශේෂයෙන්ම කොළඹට දුරස්තරයෙන් එන අය ඇදී ආවහොත් එතනින් යම් හොඳ ආර්ථිකයක් ගොඩනගා ගත හැක. වැඩ සම්පුර්ණයෙන්ම ඉවරවී ඇතත් එය තවමත් චීන පාලන හස්ථයේ පවතින බවයි පෙනෙන්නේ?
39.නෙලුම් කුලුන වහාම මහජනයාට විවෘත කල යුතුයි. එය ශ්‍රී ලාංකිකයන් සතුයි.
40.ඒ ස්ථානයේ විදේශිකයන් බැලීමට ප්‍රියකරන අපේ කෞතුකාගාරයක්, දේශීය කළා මධ්‍යස්ථානයක්, චිත්‍ර ප්‍රදර්ශනාගාරයක් හෝ ලක්සල වැනි අත්කම් භාණ්ඩ අලෙවි ස්ථානයක්, දේශීය ආරයට ආහාර සපයන ස්ථාන වැනි දේ පිහිටවුවහොත් දේශීය සහ විදේශික සංචාරකයෝ බොහෝ ඇද ගත හැකි වනු ඇත. නමුත් නෙළුම් කුළුන උසට සෑදුවා හැර, අලෙවි සල් දැමීමට හැකි ඉඩක් තිබෙන ලෙස නිර්මාණශීලිව එය බිහිකර නොමැති බවයි බාහිරව බැලීමෙන් පෙනෙන්නේ.
41.අප රටට එන සංචාරකයන්ට බැලීමට ඇති 'නව' ස්ථාන වැඩි කරගත යුතුයි, විශේෂයෙන්ම කොළඹ.
42.කලින් කී නැව් නැති වරාය, ප්ලේන් නැති ගුවන් තොටුපොල, ඔපෙරා නැති ඔපෙරා ශාලාව, ක්‍රිකට් අඩු ක්‍රිකට් ක්‍රීඩා පිටි බොහෝ දුරට අසාර්ථක උනේ සුදුසුකම් මත දක්ෂයන් වෙනුවට, අදක්ෂ, තේරුමක් නැති, දේශපාලන හෙන්ච්චයින්ව එවන් තැන්වල පාලනාධිකාරීයට රජය කරවන්නන් විසින් පත් කිරීමයි. අධිකව මුදල් වියදම් කර ස්ථාන සෑදුවාට පමණක් මදිය, ඒවායින් හොඳට ලාභ ලැබීමට ‘මාර්කට්’ කිරීමද කල යුතුය.
43.සිංගප්පුරුව,හොංකොං වැනි වරායවල ඒකාධිකාරිය බිඳ, ඔවුන්ගේ බිස්නස් කඩා, අපේ වරායන්ට ඔවුනට යන නැව් ගෙන්වා ගැනීමට නම් ජාත්‍යාන්තරව එවැනි දේ කර ඇති, හොඳ පළපුරුද්දක් ඇති, උගත්,හොඳ පෞරෂයක් ඇති විධායක නිලධාරින් පත් කල යුතුයි. එවැන්නක් කල බවක් නම් දක්නට නොතිබුණි.
44.ඇත්තම කියන්නේනම් කිරීමට තිබුනේ ගාල්ල වරාය ලොකු කර, හොඳ මාර්කටින් කැම්පේන් කර, ජාත්‍යන්තර මුහුදේ යන නැව් එහාට ගැනීමට බැලීමයි. සියල්ලම 'හම්බන්තොටට' යන මෝඩ ආකල්පයෙන් වැඩ කිරීමෙන් කඩා වැටුනේ මුළු රටයි.
45.මන්ද, හම්බන්තොටට වඩා ගාල්ල, දවසකට නැව් 1,000ට වඩා ගමන් කරන ජාත්‍යන්තර දක්ෂිණ මුහුදු මාර්ගයට ඉතාම ළඟය. මුදල් ණයට ගෙන නව වරායන් හැදිය හැකියි. නමුත්, සිංගප්පුරුව, හොංකොං වැනි රටවලින් නැව් බිස්නස් කඩා අප අතට ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ; කළ හැකියි. ගාල්ල යනු අප රජ කාලයේ සිට තිබුණු අගනා වරායකි. අල්මේදාගේ පෘතුගීසි යාත්‍රා 9ත් මුලින්ම ගොඩ බැස්සේ ගාල්ල වරායටය. පෘතුගීසින් ඒමට පරම්පරා දෙකක කාල පරිච්චේදයකට පෙර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සිය පරෙවි සංදේශයේ 84වැනි කවියෙන් ගාලු පුරය වර්ණනා කර තිබුනේ එහි ‘සාප්පුවල මුතු, මැණික්, රත්‍තරන් ප්‍රදර්ශනයට තබා තිබු අයුරින් කෙනෙකුට සිතෙනුයේ මුළු මහත් මුහුදු පත්ලම හාරා ඇද්දෝ’ දැයි කියායි.

Comments