top of page
Search

බොරු කීම Posted on January 10th, 2025

චානක බණ්ඩාරගේ

බොරු කියන්නාට වෙනත් කළ නොහැකි වරදක් නැතැයි කියති.  එසේම එක්  බොරුවක් වැසීමට බොරු 10ක් කියන්න සිදු වේයයි කියති.

මියගිය කාටර් ජනාධිපතිවරයා ජනතාවට බොරු නොකීවේය.

තමන් ජනාධිපතිවරණයෙන් ජයගත් පසු විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු කරන්නේ යයි පැවසූ අපේ හිටපු ජනාධිපතිවරුන් 5ක් ඇත (1994 පසු).  අප ඔවුනට චන්දය දුනිමු.  නමුත්, දුන් පොරොන්දුව ඔවුන් ඉෂ්ට නොකළහ. අසීමිත වූ ජනාධිපති බලය පාවිච්චි කර, රට විනාශ කර, දැන් ඔවුන් හොඳ විශ්‍රාම සුවයෙන් පසුවෙත්. මේ අය චේතනාවෙන්ම, අසද්භාවයෙන් බොරු කී අයය. ඔවුන්ට බොරු කාරයෝ යයි කීවාට වරදක් නැත.  

මෙතෙක් සිටී සියළු ජනාධිපතිවරු ඉතා අසාර්ථක අය වුහ.

දැන් සිටින ජනාධිපතිවරයාද මේ දේ ම කියා ඇත (විධායක ජනාධිපති තනතුර අහෝසි කරන බව).

ඔහු ගැන තක්සේරුවක් කිරීමට තවම කාල වෙලා ගතවී නොමැති නමුත්, ඔහුද ‘වැඩ බැරි ටාසන්’ කෙනෙක් දෝ යන සාධාරණ සැකය ජනතාව තුල ඉස් මතුවෙමින් පවතී.

ඔහු සාර්ථක වේවා යයි අප උදක්ම පතමු.

(දැන් පවත්නා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන බහුතර ශ්‍රී ලාංකිකයෝ කැමතිය. මන්ද පසුගිය වසර 47 පුරාවටම එමගින් කලේ රට වැඩි වැඩියෙන්  අගාධයට ගෙන යාමයි. 1979 පමණ සිට වූ ඊලාම් යුද්ධයේ ආරම්භයේ සිට,  මහා පරිමාණයේ දුෂණ/අල්ලස් රටට හඳුන්වා දී,  2022 රට බංකොලොත්වීම දක්වා මේ රට දරුණු අගාධයට ඇද දමනු ලැබුවේ විධායක ජනාධිපති ධුරයයි.

නමුත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ජනතාවට දැන් කුකුසක් ඇත.  රජයන් නිරාගමික විය යුතුය යන මෙම රජයේ පවත්නා බව පෙනෙන සංකල්පය (පාර්ලිමේන්තුවේදී ජයමංගල ගාථා භාවිතා නොවුනේ මේ නිසාද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වෙනි වගන්තියෙන් පවසන්නේ මෙයට ඉඳුරාම වෙනස් දෙයකි – බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව), උතුරේ සහ නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල සිංහලයන් ‘2වෙනි පන්තියේ පුරවැසියන්’ ලෙස වාසය කිරීම සහ සිංහලයාට එම පළාත් 2කේ ජීවත්වීමේ අයිතියට වැට බැඳ තිබීම වැනි කාරණා නිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දැන් ගෙන ආවොත් සිංහලයා විශේෂයන්ම සිංහල බෞද්ධයා දැන් සිටින තත්වයෙන් තවත් පහළට ඇද වැටේද (කබලෙන් ලිපට) යන දැඩි බියක් ප්‍රබුද්ධ  සිංහලයාට ඇත.

මේ නිසා රජය තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පූර්ණ මහජන සුපරීක්ෂණය උදෙසා ඉදිරිපත් කළ යුතුය.

සියළු ජාතීන්ට  රිසිසේ, රටේ සෑම තැනම – උතුරේ, නැගෙනහිර පවා, ජීවත්වීමේ නිදහස/අයිතිය තිබිය යුතුයි.

පූර්ණ 13 (පොලිස්/ඉඩම් බලතලද අඩංගු)  ලබා දිය යුතුයයි අද පාර්ලිමේන්තුවේ සිටින සියළු ප්‍රධාන පක්ෂවල මතයයි. ඉන් ඔබ්බට ගොස් 13+ ලබා දිය යුතු යයි කියන පිරිසක්ද පාර්ලිමේන්තුවේ වෙත්. අප නව ව්‍යවස්ථාවකට බිය මේ කරුණද නිසාය – පූර්ණ 13 රටේ ඒකීය භාවයට, සිංහලයාට උතුරු/නැගෙනහිර නිදහසේ වාසයට  බලවත් තර්ජනයකි.

මේ 225 එකතුවී, මෝඩ ලෙස කටයුතු කර, දැන් තිබෙන ඒකීය භාවයත් නැති කර දැමුවහොත්?

චන්ද ලබා ගැනීමට ගිජුව කටයුතු කරන වත්මන් දේශපාලනඥයන්ට DS/ඩඩ්ලි සේනානායක වැන්නෝ හොඳ ආදර්ශයකි).

‘හඳෙන්  හරි ගෙනල්ලා හාල් නිකං දෙන්නම්’, ‘ඇට අට දෙන්නම්’ වැනි බොරු පොරොන්දු වලට අප රැවටිනිමු.

චන්ද සමයේ දෙන බොරු පොරොන්දුවලට සැමදා  රැවටෙන අප, අපටම බුවල්ලෙන් තලාගැනීම වරදක් නොවේ?

දේශපාලනඥයන් බොරු කීම රටේ ජනතාව සහ දරුවන් ද එම ක්‍රියාවට යොමු කිරීමක් බව දේශපාලනඥයන් දැන ගැනීම යහපති.

දරුවන්ට බොරු කීමට උගැන්වීම මහත් පාපයකි. පුරුදු වූ පසු ඒ දරුවන් ‘උපන් ගෙයි බොරු කාරයෝ’ වෙත්.

සහජයෙන්ම දරුවෝ බොරු නොකියති. ඔවුන්ට බොරු කීම උගන්වන්නේ අප දෙමව්පියෝ/වැඩිහිටියෝයි.

බොහෝ ළමුන් මුලින්ම කියන ලොකුම බොරුවක් වන්නේ පාසලේ 1වැනි වසරට ඇතුල්කිරීමේ සම්මුඛ පරීක්ෂණයේදී තමන් ජීවත්ව ඉන්නේ පාසලට හැතැප්ම 2ක් ඇතුලත  වූ ලිපිනයක් තිබෙන නිවසක බව.  මේ බොරුව ඔප්පු කිරීමට එම දරුවාට අප තව බොරු 50ක් පමණ උගන්වමු.

නැවතත්, බොරුවට පුරුදු වූ ළමයාගේ ගැනීමට දෙයක් නැත.  ඔහු/ඇය කිසිදා  හොඳ පුරවැසියෙකු නොවේ.

අප දෙමව්පියන් අප අතර ප්‍රශ්න වලදී ළමයි අතකොළු කරගෙන,  ඔවුනට බොරු කීම උගන්වමු. මෙය පාප ක්‍රියාවකි.

බොරුව රජ කරන පවුලක්, සමාජයක් හරියාකාර ‘වැඩකරන’ (functioning) පවුලක්, සමාජයක් නොවේ.

අවාසනාවකට, බොරු  කියන්නා බොරුවෙන් බොහෝ විට ජය ගනී. අහිංසකයෝ අන්ත අසරණ අමාරුවේ වැටෙත්. අප ජීවත්වන ලෝකය/සමාජය දුශීත, ආසාධාරණ යයි  බොහෝ දෙනෙක් සිතන්නේ මේ  නිසාය.

ලෝකය දියුණුවෙත්ම හොඳ ගතිගුණ තව තවත් වැඩි දියුණු වේ. තව වසර 200න් බොරු නොකියන සමාජයක් මේ ලොව බිහි විය හැක. එදා වෙසෙන මිනිසුන් ඉතා වාසනාවන්තයෝය.

 
 
 

Recent Posts

See All
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසය

 
 
 
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස) Posted on October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවම

 
 
 
ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල් Posted on September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය

 
 
 

Comments


bottom of page