top of page
Search

රක්ෂිත ගිණි ගැනීම් සහ ජල පෝෂක අපවිත්‍ර කිරීම් ගැන රජය දැනුවත්? Posted on September 20th, 2023

චානක බණ්ඩාරගේ

නුවරඑළිය දිස්ත්‍රිකයේ හඟුරන්කෙත කළාපයේ සංචාරය කරන්නෙකුට (අධිකාරිගම, මල්ලුල්ල, උඩවත්ත, රහතුංගොඩ, උඩ පදියපැලැල්ල, උඩ හේවාහැට වැනි ප්‍රදේශ) නොවැරදීම ඇස ගැසෙන දර්ශනයකි එහි කඳු වල පිහිටි රක්ෂිත වල හට ගෙන ඇති ගිණි. මේවා ස්වභාවික ගිණි (ලැව් ගිණි) නොවේ; පුද්ගලයන් විසින් උවමනාවෙන්ම ඇති කරන ලද ගිණිවේ.

දැඩි නියඟය නිසා මේ කැලෑ ප්‍රදේශ තදබල ලෙස වියළීමකට බඳුන්ව තිබු  නිසා කැලෑ එළිකරන්නන් හට ඉතා පහසුවෙන් මේ කැලෑ වලට ගිණි තැබිය හැක. ඒවායින් නඟින දුම් රොටු මේ ප්‍රදේශවල සැරිසරන්නනට නිරන්තරන්යෙන්ම දර්ශනය වේ. සමහරවිට වාහනයක් ධාවනය කිරීමට අපහසු තත්ත්වයෙන් මුළු ප්‍රදේශයන්ම දුමෙන් පිරී පවතී.

මේවා ඉතා වටිනා වනාන්තර රක්ෂිතය. සමහරෙක පයිනස්, ටර්පන්ටයින්, රතු ගම් වැනි දැවැන්ත ගස් වවා ඇත. කොස්, පොල්, අලි පෙර වැනි  බෝග වගා වවා ඇති පුද්ගලික ඉඩම්ද මේ ගිණි නිසා විනාශ වී තිබෙනු දක්නට ලැබේ.

සමහර රක්ෂිත අසළ නිවෙස් පමණක් ගිණි නොගෙන තිබෙන නිසා මේ ගිණි එම නිවෙස්වාසීන් විසින් ඇති කරන ලද ඒවා විය නොහැකිද?

මෙලෙසින් රක්ෂිත අක්කර විශාල සංඛ්‍යාවක් මේ වසරේ මේ වන විට විනාශ වී ඇත.

මේ කැලෑ පාළුවන්ගේ අරමුණ මේ ගස් විනාශ කිරීමෙන් පසු ඇතිවෙන හිස් බිම් අල්ලා ගැනීම විය යුතුයි. ලොකු ගස් මැරුණු පසු වර්ෂාව පැමිණීමත් සමඟ විවිධ හේන් බෝග/එළවළු වගාවන් මේවායේ වගා කිරීමට ඒ ප්‍රදේශවාසීහු පෙලභෙත්. සෙල්ලමට කැලෑවලට ගිණි තබනන්නෝද වෙත්.

(වාසනාවකට, දැන් මේ ප්‍රදේශවලට යම් තරමින් වැසි වැටෙමින් පවතී; ඒ නිසා කැලෑ ගිණි තැබීමට හැකි පරිසර තත්ත්වය අහෝසි වී යයි; නමුත් ලබන වසරේ මෙය නැවත ඔවුන් සිදු කරනු ඇත).

මේ කැලෑ සංහාරය මහනුවර, හඟුරන්කෙත ප්‍රදේශ වල පමණක් නොව බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල,  වැල්ලවාය වැනි ප්‍රදේශවලද නිරතුරුව සිදුවේ. දැඩි සංචාරක ආකර්ෂණයන් වන ඇල්ලේහි පිහිටි රාවණා ගල, පුංචි සිරිපාදය වැනි කඳු වලටද ඇතැමුන් ගිණි තබා තිබු බව වාර්ථා විය. ඒවා බොහෝ විට කඩාකප්පල්කාරී වැඩ විය යුතුයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ මන්දාරම් නුවර ඉතාම ආකර්ෂණීය ප්‍රදේශයකි. කලින් එම ප්‍රදේශය ඝණ හරිත වර්ණයෙන් හැඩවුනු වර්ෂා වනානතාරවලින් වැසී පැවතිණි. අද ඒ කිසිත් නැත. ඒ ගස් කපා දමාය. සිටී දිවියන්, දැවැන්ත ගෝනන්, මුවන් වැනි වන ජීවින් ක්‍ෂය වී ගොසිනි. අද ඒ වෙනුවට ඇත්තේ තෙරක් නොපෙනන විවිධ එළවළු වගාවන්ය – අර්තාපල්, කැරට්, ලීක්ස්, රාබු, ගෝවා, බීට් වැනි.

මන්දාරම් නුවර කොළපතන දිය ඇල්ල අවට නම් (මේ පිදුරුතලාගල කන්දේ පිටුපසයි) යම් තරමින් වර්ෂා වනාන්තරය ඉතිරිව ඇත. එයද නුදුරු අනාගතයේදී අතුරුදහන් වනු ඇතැයි එම ප්‍රදේශයේ සේවය කරන වන සංරක්ෂණ නිලධාරී මහතෙක් මෙම ලියුම්කරු සමඟ පැවසීය.

නැගෙනහිර පළාතේ පොතුවිල් – මඩකලපුව මාර්ගයේ උරානි ප්‍රද්ශයේ මේ වනවිට දැවැන්ත වන සංහාරයක් සිදු වෙමින් පවතී. මෙය රජය දැනුවත්ව සිදුවන්නක් විය යුතුය. මන්ද, මෙහි ලඳු කැලැව කපන්නේ තිරුක්කෝවිල් සහ ඒ අවට දෙමළ ජනයා මේ ප්‍රදේශයට ගෙනැවිත් පදිංචි කිරීමට යයි පොතුවිල් ජනයා පවසත්. මහ කැලයට ඉතා ආසන්න මෙහි නව දෙමළ ජනපද සැදීමට යන බවයි පෙනීමට ඇත්තේ.

මේ කැලෑ එලි කිරීම පිළිබඳව පොතුවිල් හි සිටින පාරම්පරික මුස්ලිම් ජනයා සිටින්නේ දැඩි නොසතුටිනි.

මේ උරානී ප්‍රදේශය රාත්‍රී කාලයේදී වල් අලින් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. මෙසේ හිතුමතේ කැලෑ එළි කිරීමෙන් ඒවායේ වෙසෙන අලින් සහ වෙනත් වන ජීවීන්ට යන එන මං නැතිවේ.

අද කැලෑ එළි කිරීම් වැළකීමට විවිධ රජයේ නිලධාරින් සිටිති. ග්‍රාම සේවක, වන ජීවී නිලධාරින්, වණ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන ඇත. මීට අමතරව පොලිස් නිලධාරින්, ග්‍රාම ආරක්ෂක, දිස්ත්‍රික් ලේකම්වරුන් ආදින් ඇත. ඉදින්, මෙවන් වාතාවරණයක් යටතේ අක්කර සිය දහස් ගණනක අපගේ වටිනා ඉඩම් වසරක් පාසා මෙසේ විනාශ ව යන්නේ කෙසේද?

පඩි වැඩිවීම් සහ වෙනත් පහසුකම් ගෙවීම් නිසා නිසා රජයේ නිලධාරින් දැන් හොඳ වැටුප් ලබති. නමුත් ඒ හා සමාන්තරව ඒ අයගේ ජනතාව වෙනුවෙන් සිදු විය යුතු නිෂ්පාදකත්වයේ/පලදායිභාවයේ වැඩිවීමක් සිදු වීද?

කිසිසේත්ම නැත.

තවමත් බොහෝ රජයේ ආයතන වල දුරකථන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන තත්ත්වයක පවතී. දුරකථනය ඇමතුවත් බොහෝ විට අවශ්‍ය විස්තර මහජනයාට ලබා නොදේ.  බොහෝ  නිලධාරින්ගේ මානසිකය තවමත් අහිංසක මහජනයාට සේවය කිරීම නොව ඔවුනට ‘හයිරන්’ පෙන්වීමය.

මෙයට හේතුව මේ බොහෝ දෙනෙක් මේ තනතුරුවලට පැමිණ ඇත්තේ හුදු සුදුසකම් මත නොව, දේශපාලනඥයන්ගේ අනුග්‍රහයෙන් ලත් පත්වීම් නිසා විය නොහැකිද?

දරා ගැනීමට නොහැකි, වියදම් අධික  රාජ්‍ය සේවය නඩත්තු කිරීම/දේශපාලනඥයන්ගේ සහ ඒ සමඟ යන හෙන්චයියන්ගේ  (අනවශ්‍ය)  නිරන්තර විදෙස් ගමන්වලට අවැසි මුදල් සොයා ගැනීම සඳහා රජය අහිංසක මිනිසුන්ගේ පාරිභෝජනය  වෙනුවෙන් පිටරටින් ගෙන්වන පරිප්පු, සීනි, පිටි, ළුණු ආදියට අධික බදු ගසා ඒවායේ  මිල වැඩි කරයි.  

අද රජයේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වී ඇත්තේ මේ බදුය.

අඩු තරමින් අනාගත පරපුර ගැන සිතාවත් මේ ඉඩම් ආරක්ෂා කිරීමට සියළු පුරවැසියන් කැපවී වැඩ කල යුතුය.

(2019 – 2021 කාලයේ රක්ෂිත සහ වන ජීවී ඉඩම් වල ‘බෆර්’ කළාප ඔනෑම කෙනෙකුට බෝග වගා කිරීම සඳහා අල්ලා ගැනීමට හැකි වනසේ එම රජය කටයුතු කල බව කාටත් මතක ඇත. ඒ සඳහා ගැසට් පත්‍රීකාවක්ද නිකුත් කර තිබුණි.  නමුත්, අලුතින් සිදුවූ බෝග වගාවන්, ඒවයෙන් ලබා ගත් නව අස්වැන්නන් ගැන නම් ඇසීමට නොලැබුණි).

එක් කන්ද උඩරට පලාතක සිටී දිසා ලේකම් තුමෙකුට අනුව නුවරඑළිය/බදුල්ල දිස්ත්‍රික්කවල අපයෝජනය නොවූ එකදු ජල පෝශිතයක් වත් නැති තරම්ය. බොහොමයක් දිය උල්පත්, දිය ඇලි වල වතුර අපවිත්‍ර වෙන්නේ විශේෂයෙන්ම වතුවල ජනයා තම වැසිකිලි, කුස්සි, නාන කාමර ආදියේ අපද්‍රව්‍ය එම ජල පෝෂිත දෙසට හරවන නිසාවේ. මේවාට ඒ මිනිසුන්ට දොස් කීමට  වඩා ආදාල  නිලධාරින් විසින්  තම සේවා කටයුතු නිසි ලෙස නොකිරීම බලපායි.

නල්ලතන්නියේ හෝටල් වල වැසිකිළි අපද්‍රව්‍ය සීත ගඟුලට හරවා තිබුණි. ශ්‍රීපාද රක්‍ෂිතයේ සිට මාවුස්‌සාකැලේ ජලාශයට ගලා බසින සීත ගඟුල ඔයේ ජලය, ශ්‍රීපාද වන්දනාකරුවන් හා ප්‍රදේශවාසීන් දහස්‌ ගණනක්‌ දිනපතා ප්‍රධාන අවශ්‍යතාවන් සඳහා පාවිච්චියට ගනිත්.

තවත් කදිම උදාහරණයක් නම් මස්කෙළිය නගරයයි. මෙහි වතුර බැස යන විශාල කානු (බෝක්කු)  වලින් එන්නේ අසුචි මිශ්‍රවූ ගඳකි. ඒ, නිවෙස් වල/ කඩ සාප්පු වල ටොයිලට් මේ කානුවලට හරවා තිබෙන නිසයි.

මේ විශාල කානු වලින් බැස යන ජලය ගංගා වලට එකතු වීම වේ.

අපේ ප්‍රධාන ගංගා 5ක්ම පටන් ගන්නේ මස්කෙළියට ඉහලින් පිහිටි ශ්‍රී පාද කඳුවැටියේ ජල පෝෂක වලින්ය.

කොළඹ ලොකු අය බොන්නේ ශ්‍රී පාද කඳු මුදුනින් පටන් ගෙන, මස්කෙළිය හරහා කැළණි ගඟෙන් එන වතුර බව ඒ අය අමතක නොකරනු වටී.

 
 
 

Recent Posts

See All
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (11 කොටස) Posted on October 17th, 2025

චානක බණ්ඩාරගේ ලෝකේ මිල කළ නොහැකි වටිනාම සම්පත පුංචි දරුවෝයි. අම්මෙක් තම 18 හැවිරිදි පුතාට එයාගේ උපන් දිනය දා දුන් ඔවදන් – ‘හිතන්න එපා අත පය හතර දික් වුණා කියලා සර්ව සම්පූර්ණයි කියලා. මේ සමාජය හරි විසය

 
 
 
අපි පරිසරය රැක්කොත් තමා පරිසරය අපිව රකින්නේ (14කොටස) Posted on October 27th, 2025

චානක බණ්ඩාරගේ රටේ ජාතික ගීය ලියු රචකයා තාමාට සිදුවූ අසාධාරණය නිසා සියදිවි නසා ගත්තේ නම්, ඉන්දීය නොවන, අපේ රටටම ආවේනික වූ අපුරු සංගීතයක් නිර්මාණය කල අසහාය ගායකයාගේ ගීත වසර 20ට තරම ගුවන් විදුලියෙන් උවම

 
 
 
ට්‍රැෆික්, ලොකු බස්, දුම්රිය සහ ත්‍රීවීල් Posted on September 9th, 2025

චානක බණ්ඩාරගේ රටේ ආර්ථිකයට මරුම මරු පහරකි දැවැන්ත ට්‍රැෆික් ප්‍රශ්නය. මිනිසුන්ගේ වැයවෙන කාලය, නිරපරාදේ දහනය වන ඉන්ධන පමණක් නොවේ මිනිසුන්ගේ මානසිකත්වය පවා එය නිසා පිරිහේ. සංචාරකයෝ/ආයෝජකයෝ ඒමද අඩු විය

 
 
 

Comments


bottom of page