ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං’ වීය යුතුයි Posted on September 12th, 2015
- chanakab4
- May 25
- 11 min read
චානක බණ්ඩාරගේ
6/9/2015 දින ලංකාවෙබ් හී පළවූ ‘Sri Lanka should be the Hong Kong of India යන ලිපියේ (සංශෝධන සහිත) සිංහල පරිවර්තනයයි
හොංකොං දේශය චීනයේ කරපිටින් ගොස් ධනවත්වු බව කිසිවෙක් විවාදයෙන් තොරව පිළිගන්නා සත්‍යයකි (චීන විප්ලවයෙන් පසු 1940 අග භාගයේදී හොංකොං වේගවත් සහ සාර්ථක කාර්මිකත්වයට පත්ව, ධනවත් රටක් බවට පත් විය).
ඩේන් ෂියාඕ පෙන් විසින් 1970 දශකයේ අග භාගයේදී චීන විවුර්ථ ආර්ථික ක්‍රමය (Open Door Policy) හඳුන්වා දීමෙන් අනතුරුව හොංකොං දේශය, ඒ ලැබුණු මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගෙන චීනයත් සමඟ ස්වකිය වෙළඳාම දස ගුණයකටත් වඩා වැඩි කරගතතේය. වසර කිහිපයක් ඇතුලතදී හොංකොංහි චීන අපනයන (exports) චීනයෙන් හොංකොංවෙත එන අපනයන වලට වඩා වැඩි විය.
බොහෝ දුරට චීනයට ස්තුතිවන්තව, 20වෙනි ශතවර්ෂය තුලදී, හොංකොං, ඉතා ධනවත් රටක් බවට පත්විය.
ඉන්දීයාව ආර්ථික වශයෙන් අද ලෝකයේ ඉතා බලවත් රටක් බවට පත්වී ඇත. එය චීනය පසු කර යනු ඇතැයි ඇතැමෙක් පවසත් (චීනයේ කඩිනමින් වයසට යන සමාජය සහ උග්‍ර ස්ත්‍රී පුරුෂ වෙනස ආදිය නිසා (ස්ත්‍රී ඌනතාව). ලෝකයේ ආර්ථික වශයෙන් බලවත්ම රට වීමටද ඉන්දියාවට හැකි බවට ඇතැම්හු අනාවැකි පල කරත්.
චීනය නිසා හොංකොං ධනවත් වූවාක් මෙන් (හොංකොං චීනයට ඉතා ආසන්නයේම පිහිටා ඇත), ඉන්දියාව නිසා ලංකාවට ධනවත් වීමට මෙතෙක් පුළුවන් වුයේ නැත (ලංකාව ඉන්දියාවට ඉතා ආසන්නයේම පිහිටා ඇත).
ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං ‘ බවට පත් වුයේ නැත.
පසුගිය දස වසර තුලදී ඉන්දියාව වසරකට 10%ට කිට්ටු ආර්ථික වර්ධනයක් (GDP growth) පෙන්වුවත් එයින් නිසි ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලංකාවට පුළුවන් වුයේ නැත.
පසුගිය දස වසර තුලදී ශ්‍රී ලංකාව සිය සියලුම බිජු (බිත්තර) චීනය නමැති කූඩයට පමණක් දමා ගත්තේය. මෙය බුද්ධිමත් නොවූ ආර්ථික න්‍යාමයකි.
යුද්ධයෙන් පසු අප අවාසනාවකට මෙන් ඉන්දියාව සමඟ තිබු හොඳ හිත පලුදු කර ගත්තෙමු (මෙය හුදෙක් තමිල්නාඩු බලපෑම් නිසා සිදුවූ බව සැබවි, නමුත්, ශ්‍රී ලංකාව තුල ලොව වෙනත් රටවල් සමඟ ශක්ත්මත් වූ රාජ්‍ය තාන්ත්‍රික සහ තානාපති සභධතා ඇති කර ගැනීමේ හැකියාව අඩු බව පෙන්වූ නිදසුනකි මෙය. රටවල් සමඟ මිත්‍රශීලි සභධතා නොපැවැත්වූවොත් ඉන් අහිතකර පළ ඇතිවන්නේ එම එම දෙරටටමය).
චීනයේ කරපිටින් පමණක් ගොස් ධනවත් වීමට බැරි බව ශ්‍රී ලංකාව අවබෝධ නොකරගෙන සිටියේය. ඉන්දියාවෙන් කරපිටින් ගොස් ඊට වඩා පහසුවෙන් ධනවත් විය හැකි බව ශ්‍රී ලංකාව සැලකිල්ලට නොගත්තේය.
මෙයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකාව චීනය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, රුසියාව, ජපානය වැනි රටවල් සමඟ ආර්ථික සමභධතා ඇති කර ගත නොයුතු බව නොවේ.
චීනය වනාහි ශ්‍රී ලංකාවට සිටිනා ඉතා වටිනා, සමීපතම මිත්‍රයෙකි. එහි කිසුදු වාද විවාදයක් නොමැත. චීනය වනාහි ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලදී හැමදාම ශ්‍රී ලංකාවට ලඟින්ම සිට උදවු කල මිත්‍රයෙකි. එහෙත් චීනය පිහිටියේ ශ්‍රී ලංකාවට බොහෝ ඈතිනි. ශ්‍රී ලංකාව සමග සැසදීමේදී චීනය ඉතා වෙනස් වූ රටකි. නමුත්, ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉතා කිට්ටු සමානාකම් ඇති රටකි. සංස්කෘතික, ආහාර, වස්ත්‍ර,, භාෂාව (සිංහළ. සංස්කෘතික (sanskrit) සම්භවය ඇති භාෂාවක් වන අතර දෙමල ඉන්දීය භාෂාවකි), ක්‍රීඩා, ආගම්, ගති, සිරිත්, පැවතුම් සහ පුද්ගලික චරිත ලක්ෂණ ආදියෙන් ශ්‍රී ලාංකිකයෝ සහ ඉන්දියයෝ ඉතා කිට්ටු සමීපකමක් දක්වති.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති දැඩි සම්බන්ධතාවට පහත කරුණුද හේතුවේ:
ශ්‍රී ලාංකික බෞද්ධයෝ විශ්වාස කරන්නේ බුදු රජාණන් වහන්සේමේ ලොව පහළ වූ ශ්‍රේෂ්ටතම පුද්ගලයාලෙසයි. උන්වහන්සේ ඉන්දීය (දඹදිව) ජාතිකයෙක් විය.
ශ්‍රී ලංකා දේශය බිහි වූයේ බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමග (මෙයට වසර 2498කට පෙර – ක්‍රි පු 498) උතුරු ඉන්දියාවේ සිංහපුර, වංග දේශයේ, ලාට රටේ (අද උතුරු බෙංගාලයේ) සිටි විජය කුමරුගේ ශ්‍රී ලංකාවට (තම්බපන්නිය) වූ ආගමනයත් සමගිනි. ‘සිංහළයේ’ ප්‍රාරම්භකයා, විජය, ඉන්දියානුවෙකි (බෙන්ගාලියෙකි).
මහාවංශය සහ වෙනත් අටුවා පොත් අනුව සිංහලයන් බුදු බුදුරජානන් වහන්සේට ඥාති සම්බන්ධතාවක් ඇත. ලංකාවේ දෙවන රජ වූ පඬුවස්දේව (ඔහුට විජය කුමරු තම මාමණ්ඩිය විය) විවාහ වුයේ බුදු රජාණන් වහන්සේගේ සමීපතම ලේ ඥාතියෙක් වූ බද්ධ කච්චානා (කපිලාවාස්තුහි, ශාක්‍ය වංශයේ) කුමරිය සමඟයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් වන්නේ ඉතා පටු මුහුදු තිරයකිනිනි. තමිල්නාඩුවේ ඊලාම් වාදී ප්‍රතිපත්ති හා කටයුතු හැරුණු කොට දෙරට අතර ඇත්තේ වසර දහස් ගණනක් දිව යන සහෝදරාත්මක සම්බන්ධතාවයකි, බැම්මකි. ඉන්දියාව ශ්‍රී ලංකාවට කෙතරම් කිට්ටුව පිහිටියත් ඉන්දියාව කිසිදාක ශ්‍රී ලංකාව යුධමය වශයෙන් ආක්‍රමණය කර නොමැත. මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ පැත්තෙන් අනගාරික ධර්මපාල, සිරිමාවෝ බණ්ඩාරනායක, සනත් ජයසුරිය ආදීන් දෙරට අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීමට කටයුතු කල අය වශයෙන් නම් කළ හැකයි.
පසුගිය වකවානුවේ ශ්‍රී ලංකාවට ඉන්දීය අපනයන දස ගුණයකින් පමණ වැඩි වෙද්දී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයන එවැනි වේගයකින් වැඩි වුයේ නැත.
මෑත කාලින ශ්‍රී ලාංකික රජයන් (පසුගිය වසර 20 ඇතුලත), ශ්‍රී ලංකාවේ නිෂ්පාදනමය සහ කර්මාන්ත කෙරෙහි නැඹුරුවූ ආර්ථිකයක් (productivity and manufacturing based economy) තනනවාට වඩා උත්සුක වුයේ, වඩා පහසුවෙන් තැනිය හැකි සේවාමය ආර්ථිකයක් ( service based economy) ගොඩ නැගීමටයි. මෙයින් රැකියා ප්‍රශ්නයට විසදුමක් ලැබීම යනු සත්‍යකි. නමුත්, මෙහි මුලිකම අවාසිය වුයේ රට ආහාර සහ භාණ්ඩ අතින් ස්වයන්පෝෂිත නොවීමත්, විදේශ විනිමය (ඇමරිකන් ඩොලර් වැනි) රට තුලට නොපැමිනිවීමත්ය.
1950 සිට 1970 අග භාගය දක්වා (නිදහසින් පසු) සැම රජයක්ම ශ්‍රී ලංකාවේ ඇතිකිරීමට උත්සහ ගත්තේ නිෂ්පාදනමය සහ කර්මාන්ත කෙරෙහි නැඹුරුවූ ආර්ථිකයකි. එකල ශ්‍රී ලංකාවේ විදුලි/ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, මහන මැෂින්, විදුලි පංකා, ශීතකරණ, රේසර් බ්ලේඩ්, බයිසිකල්, චොකලට් සහ උසස් ගනයේ රසවත් ටොෆි වර්ග, උසස් ගනයේ බටහිර ඖෂධ, ටයර්, අත් ට්‍රැක්ටර් පමණක් නොව මෝටර් රථ පවා නිෂ්පාදනය කරන තත්වයක් විය. ශ්‍රී ලංකාව බොහෝ ආහාර වර්ගවලින් ස්වයන්පෝෂිත විය. එකළ අප ලොවට ණය ගැති නොවීමු. අද, අප කන සහල් පවා බොහෝ දුරට එන්නේ පිටරටෙනි. අල්පෙනෙත්ත, ඉඳිකටුව, නූල් බෝලය පවා පිටරටෙන් එයි. ශ්‍රී ලංකාවේ කියා නිෂ්පාදනය වන තරම් දෙයක් නැති තරම්ය. ශ්‍රී ලංකාව චීනය, තායිවානය, කොරියාව, ඉන්දියාව වැනි රටවල්වලට ස්වකිය භාණ්ඩ මෙරට තුල දමා යන තෝතැන්නක් (dumping ground) බවට පත් කර දී ඇත.
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුල පැන නැගුනේ බොහෝසෙයින්ම සන්නිවේදන/රූපලාවන්‍ය මද්‍යස්ථාන, ලොතරැයි/අශ්ව රේස් සුදු, හෙරොයින් කුඩු/එක්ස්ටසි, කුඩා කැසිනෝ, ආයුර්වේද යන නමින් පවත්වාගෙන යන සම්භාහන මද්යස්ඨාන සහ ත්‍රී වීලර් ටැක්සි ආදිය මගින් දිවූ සේවාමය ආර්ථිකයකි (ත්‍රී වීලර්ම අද රටේ මිලියනයකටත් වැඩිය ඇත; එමගින් බොහෝ තරුණ කොටස් ත්‍රී වීලර් තුල, අලස වී සිටිත්) (සංචාරක අංශය වැඩි දියුණු වීමෙන් බොහෝ විදේශ විනිමය රටට ලැබුණි. මෙය සුබදායක දෙයක් විය). මෙවැනි ආර්ථිකයකට අපනයන ඉල්ලුමක් නැත. එවන් ආර්ථිකයකින් දේශීය බදු ආදායම් ලැබුනත්, විදේශ විනිමය රටට ගලා නොඑන හෙයින් රට ධනවත් කිරීමට එය එතරම් ඉවහල් නොවේ. රටේ වටිනාම සම්පතවන මිනිස් ශ්‍රමය හැකි තරම් පිටරට පැටවීමට 1976න් පසුව පාලකයෝ උත්සුක වුහ. එමගින් රටේ රැකියා විරහිත ප්‍රශ්නය විසඳිය හැකියයි ඔවුහු විශ්වාස කළහ. අද වසරකට ලක්ෂ 3ක් ශ්‍රමිකයෝ රට හැර යත්. රටේ හොඳම මිනිස් ශ්‍රමය (උගත්, තරුණ සහ බොහෝ විට ඉංග්‍රීසි කථා කරන), පිටරට පටවා (ඒ රටවල් ඉතා ධනවත් රටවල් බවට පත් කිරීමට), අපේ පාලකයෝ කටයුතු කලේ, ශ්‍රමිකයන් එවන විදේශ මුදල් වලින් ඔවුනට ඉතා සුඛෝපභෝගී ජීවත ගත කල හැකි බව දත් නිසාය. මැද පෙරදිග, ඔස්ත්‍රේලියාව,කොරියාව, කැනඩාව, ජපානය, ඉතාලිය, එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් අපේ වටිනා මිනිස් ශ්‍රමයෙන් (තවත් අප වැනි 3වන ලෝකයේ රටවල මිනිස් ශ්‍රමයද ඇතුළුව) ඉතා ධනවත් වූ රටවල්ය. රැකියා විරහිත භාවය තුරන් කිරීම පිණිස හැකි තරම් පාලක පක්ෂවලට හිතවත්වූ අයට (මැතිවරණවලදී උදවු කල අයට) රජයේ රැකියා ලබා දුනි. මේවා සුදුසුකම් අනුව දුන් රැකියා නොවන නිසා බෙහවින් ආකාර්යක්ෂම සහ උදාසීන රාජ්‍ය සේවයක් බිහි විය. ආර්ථික සංවර්ධනයට මේවා මරු පහරවල් විය.
පසුගිය වසර 10 තුල රජයන් බොහෝ විදේශ ණයලබා ගෙන අප රට උග්‍ර ණය භරිත රටක් බවට පත් කළේය. ලබා ගත් ණය නිදහස් කිරීම නිසා ආර්ථික වර්ධනය 6 %ක් පමණ (GDP) පමණ රඳවා ගත හැකි වුවත් ණය වලින් කොටසක් වැය වුයේ ඒ මුදල් ගසා කෑම සහ අපතේ යන වැඩ සඳහාය. අද අපේ විදේශ ණය භරිතභාවය ඩොලර් බිලියන 25 ඉක්මවා ඇතයි පැවසේ. මිට අමතරව දේශීය බැංකු සහ රාජ්‍ය ආයාතනවලටද (EPF/ETF වැනි), පුද්ගලික සමාගම්වලටද ශ්‍රී ලංකා රජය අධිකව ණය බරවී සිටීයි. මෙය ශ්‍රී ලංකාව මෙන් කුඩා ආර්ථිකයක් ඇති රටකට ඉසිලිය නොහැකි තත්වයකි.
ලබා ගත් ණය මඟින් නියම ආර්ථික සංවර්ධනයක් සිදු වූවා නම් උද්ධමනය (inflation) අඩු විය යුතුය. නමුත් ඇත්තටම සිදු වුයේ උද්ධමනය වැඩි වීමකි. අද ශ්‍රී ලංකාවේ උද්ධමන අගය 10% කි. දියුණු රටවල මේ අගය 2% හෝ 3% පමණ වේ.
නිදහස ලබන විටදී (1948) අප ආසියාවේ දෙවන හොඳම ආර්ථිකය තිබු රට විය (ජපානයට පසුව). අද බොහෝ රටවල් අප පසු කර, බොහෝ දුර ගොසිනි. කොරියාව, සිංගප්පුරුව, මලයාසියාව, තායිලන්තය, පිලිපීනය අපව පසු කර ගොස් ඇති අප ජීවත්වන කලාපයේ ඇති සමහර රටවල්ය. අප තවමත් උග්‍ර 3වෙනි ලෝකයේ රටක් ලෙස ජීවත් වෙමු.
මෑතක සිට අංග සම්පුර්ණවූ ආර්ථික සහයෝගිතා ගිව්සුමකට (CEPA – Comprehensive Economic Partnership Agreement) එළභෙන මෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට උදක්ම ඇරයුම් කර සිටීයි. මෙවැනි ගිව්සුමකින් ශ්‍රී ලංකාවට සමස්ථ ඉන්දියාවටම විශේෂ සහනදායි ක්‍රම වේදයක් තුලින් භාණ්ඩ අලෙවි කිරීමේ හැකියාව ලැබෙනු ඇත. මෙය ඉතා සතුදායක පුවතකි. නමුත් ඉන්දියාවටද එවැනි මාර්ගයක් ශ්‍රී ලංකාව තුල සැලසීමෙන්, ඉන්දියාවේ ලාභවූ බඩු භාණ්ඩ සීමාවක් නොමැතිව ශ්‍රී ලංකාවට ඒමට සැලස්වීමෙන් ශ්‍රී ලංකාවේ අද පවත්නා කුඩා අපනයන ආරිථිකය සහ දේශීය ආර්ථීකය තවත් කඩා වැටීමකට ලක්වේදැයි සාධාරණ බියක් රට තුල පවතී.
CEPA ඇතුව හෝ නැතුව, වේගයෙන් සංවර්ධනය වන ඉන්දියාවට භාණ්ඩ සහ සේවා සැපයීමෙන් (හොංකොං චීනයට සැපයුවා මෙන්) අපට ‘ඉන්දියාවේ හොංකොං’ බවට පත්විය හැක. නමුත් ඉන්දියාවට අප අපනයනය කරන්නේ මොනවාද? ඔවුන්ට යැවීමට තරම් භාණ්ඩ සහ සේවා අපට තිබේද?
2011/12 කාලය තුල ඉන්දියාව ඩොලර් බිලියන 4.3 වටිනා භාණ්ඩ අප රටට අපනයනයකළ අතර එම කාලය තුල අප ඉන්දියාවට අපනයනය කලේ ඩොලර් මිලියන 721ක් පමණක් වටිනාවූ භාන්ඩයි. නුදුරු අනාගතයේදී දෙරට අතර පවතින වෙළදාම ඩොලර් බිලියන දහය දක්වා ලඟා වෙනු ඇත. නමුත් අවාසනාවකට මින් බහුතර වෙළඳාම අත්වනුයේ ඉන්දියාවටයි – ඒ ඔවුන් අපට එවන මහා පරිමානයේ අපනයන භාණ්ඩ නිසායි.
අද පවත්නා තත්වය යටතේ අපට ඉන්දියාවට යැවිය හැකි භාණ්ඩ අතර ධීවර සම්පත්, කෘෂි නිෂ්පාදන, සහ ප්‍රති අපනයන භාණ්ඩ (value added items imported from other countries) සඳහන් කළ හැකයි. මේ භාණ්ඩ ඛාන්ඩ වැඩි කරගත හැක්කේ කෙසේදැයි මේ ලිපියේ අගට සලකා බැලේ.
අප CEPA අත්සන් නොකළ යුතුයයි මේ ලිපිකරු කිසිසේත් නොකියයි. ඔහු කියනුයේ CEPA අත්සන් කිරීමට නම් අපට මීට වඩා වෙළඳ වාසි ලබා දිය යුතු යයි කියායි. කිසිදු ඉන්දීය තීරු බදු (tariff) නොමැතිව ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ඕනෑම භාණ්ඩයක් අපනයනය කිරීමට හැකි වන්නේ නම් (ප්‍රති අපනයන භාණ්ඩ ද ඇතුළුව) එය මහඟු ජයග්‍රහණයකි. එවන් පසුබිමක CEPAඅත්සන් කලාට කමක් නැත. මන්ද, බිලියන 1.2 ජනතාවකට (ලෝක ජනගහනයෙන් 1/6 ට කිට්ටු) භාණ්ඩ සහ සේවා සපයන කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්වුවහොත්, ශ්‍රී ලංකාවට එයින් කිසිවිටකත් අවාසියක් විය නොහැක. එය ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං’ බවට පත් වීමට උදව් වීමකි. ශ්‍රී ලංකාව මේ මඟින් පහසුවෙන් ධනවත් රටක් බවට පත් කර ගත හැක.
මෝඩි මහතා ශ්‍රී ලංකාවට උසස් ආර්ථික අවස්ථා ලබා දීමට ඉතා කැමැත්තෙන් සිටී. එතුමාගේ අව්‍යාජ මිත්‍රත්වය අප රටට මහත්වූ භාග්‍යයකි.
ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං’ බවට පත්වීමේ අවස්ථාව අප අහිමි කරගතහොත් එය අපට සදහටම අහිමි වීමක් විය හැක. මන්ද, වෙනත් රටක්, උදාහරණ වශයෙන්, නේපාලය හෝ බංග්ලාදේශය ‘ඉන්දියාවේ හොංකොං විය ’ හැකි බැවිනි.
CEPA හෝ එවැනි ගිවුසුමක් අත්සන් කිරීමට ප්‍රථම (කලින් කි පරිදි තවම එයට අවසන් අවස්ථාව මේ නොවේ) ශ්‍රී ලංකාව තමන්ට ඉතා වාසි සහගත කොන්දේසි එම ගිවුසුමට අඩංගු කර ගත යුතුය. මේ සඳහා ජාත්‍යන්තර නීති, ජාත්‍යන්තර වෙළඳ නීති පිළිබඳව කෘතහස්ත දැනුම ඇති නීතිඤයින්න් උපදෙස් ලබා ගැනීම අනිවාර්යවේ. මීට කලින් ශ්‍රී ලංකාව එලෑභී ඇති ජාත්‍යන්තර ගිව්සුම් මඟින් පුදුමාකාර පාඩු අප රට ලබා තිබේ (එයා ලංකා, හෙජින්, ෂෙල්, කෑන්ස්, IOC, ක්‍රිෂ් වැනි). උදාහරණයක් ලෙස ගතහොත් එයා ලංකා ගිවුසුම ශ්‍රී ලංකාවට කොයි තරම් අවාසිසහගත ලෙස එලභුනාද යත් කටුනායක ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් විනාශවූ එයා ලංකා සතුව තිබු, ගුවන් යානා සියල්ලටම ලැබුණු ඩොලර් බිලියන ගණනක්වූ රක්ෂණ වන්දි මුදල් ගියේ එයා ලංකා සමාගමට නොව එවකට එයා ලංකා පාලනය කල එමිරේට්ස් සමාගමටයි. අද එයා ලංකාවට අයිති එකදු ගුවන් යානයක්වත් අයිති නොමැත. හෙජින් ගිව්සුම නිසා ශ්‍රී ලංකාව ලැබූ පාඩුව ඩොලර් බිලියන 20ට ආසන්නයයි පැවසේ. මේ නඩු විභාගය තවම මුළු මනින්ම අවසන්ව නැත. උසස් තත්ත්වයේ නීති උපදෙස් නොලබා, අධි වටිනාකමින් යුත් ජාත්‍යන්තර ගිව්සුම් අත්සන් කිරීමට යාමේ ආදිනවයි මේ. ශ්‍රී ලංකා රජය මෙවැනි නීතී උපදෙස් ලබා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පමණක් යොමුවීම නැණවත් කටයුත්තක් නොවේ.
CEPA අත්සන් කිරීමට ප්‍රථම අප රටේ දේශීය නිෂ්පාදන අරක්ෂා කර ගැනීමට බලපාන වගන්ති එහි අඩංගු කර ගත යුතුය. CEPA අත්සන් කිරීමට නම් ඉන්දියාව අපේ මුහුදේ කරන නීති විරෝධී මත්ස්‍ය ඇල්ලීම (මේ මගින් වසරකට ශ්‍රී ලංකාවට වන පාඩුව ඩොලර් බිලියනයකට වැඩිය) සම්පුර්ණයෙන්ම තහනම් කරන වගන්ති CEPAහි අඩංගු කර ගත යුතුය. මේවා අමාරු කාර්යන් වුවත් දක්ෂ නීතිඤයන්ට/ සන්නිවේදකයන්ට අපහසු කාර්යයන් නොවේ.
දැනට, අප දෙරට අතර 1998 දී අත්සන් කල නිදහස් වෙළඳ ගිවුසුමේ (FTA- Free Trade Agreement) හි ඇති අඩුපාඩු, ශ්‍රී ලංකාවට අහිතකරවු වගන්ති (බොහෝ වේ) CEPA හි අඩංගු නොවිමට අපගේ පාර්ශවය පැත්තෙන් අප වග බලා ගත යුතුවේ.
අද අප අපේ අසල්වැසි ඉන්දියාව සමග අප ඉතා හොඳ සමීප සම්බන්ධතා පවත්වමු. 2013 වසරේ ශ්‍රී ලංකාවේ CHOGM සමුළුව වර්ජනය කලේ ඉන්දියාවයි. ඊට පෙර වසරේ ඉන්දියාව ශ්‍රී ලංකාවට විරුද්ධව ජෙනිවාහිදී සම්බාධන යෝජනාවක් ගෙන ආවේය. එවන් තත්වයක් යටතේ අප දෙරට නැවත මෙවන් දැඩි මිතු දමක් ඇතිකරගැනීම ගැන ශ්‍රී ලංකාවට ඇල්ම කරන්නෝ සතුටු විය යුතුයි. ඉන්දීය අග්‍රාමාත්‍ය තුමෙක් මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණියේ (මෝඩි මහතා) වසර 28ට පසුවයි. අසල්වාසීන් හැටියට සතුරන් ලෙස වාසය කිරීමට දිගටම සිදු වුවහොත් එහි පාඩුව එම රටවල් දෙකටමය, විශේෂයෙන්ම වැඩි අවාසිය කුඩා ශ්‍රී ලංකාවටය. සතුරන් ලෙස නොවමිතුරන් ලෙසින් අසල්වාසීන්ට විසිය හැකි නම් එය කෙතරම් අගේද (win/win situation)?
අද ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන්නේ ඉන්දියාවෙනි. කලින් කීවාක් මෙන් මෝඩි මහතා ශ්‍රී ලංකාවට විශේස ඇල්මක් දක්වයි. එතුමා බෞධාගමට ඉමහත් ලෙස ගරු කරයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉන්දියාව බෙහෙවින් ආධාර කිරීමට ඉදිරිපත් වී සිටීම ඉතා හොඳ නිමිත්තකි. දෙරට අතර සමබන්ධතා වර්ධනය කර ගන්නා අතරම අප රටට අහිතකර යමක් සිදු නොවීම සඳහා අප සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුයි. නමුත්, වරදක් නොකළ ඉන්දීය නව රජයට බැනීමෙන් වැලකි සිටිම අප තුල තිබිය යුතු වූ හොඳ ගතියකි.
තමන්ටම වූ ස්ථිරසාර දේශපාලන මතයක් තිබීම හොඳය. නමුත් උගත් දේශප්‍රේමීන්ගේ මුලිකම වගකීමවිය යුත්තේ දේශපාලන පක්ෂ/චරිත දිවිහිමියෙන් ආරක්ෂාකිරීමට වඩා තම මව් බිම වූ ශ්‍රී ලංකා මෑණියන්ට යහපතක් වන දේ සඳහා සැමවිටම ඇප කැපවී වැඩකිරීමයි/කථා කිරීමයි/ලිවීමයි. මෙය – ශ්‍රී ලංකා මාතාවට ඇළුම් කිරීම, ඔවුන් සතු විය යුතු මුලිකම ගුණාංගය විය යුතුයි (හුදු දේශපාලන මතවාදයට වඩා).
ප්‍රජාතන්ත්‍රවාදිව, මහජන වැඩි චන්දයෙන් රජයක් බිහිවූ පසු ඒ රජයේ ක්‍රියා විවේචනය කල යුත්තේ සාධාරණ පදනමක සිටයි. රට ඉදිරියට ගෙන ගොස් රටට හානියක් නොමැති, පොදු මහජනතාවට සේවා සපයන, විශේෂයෙන්ම රටේ දුප්පත්කම තුරන් කරන (රටේ ස්වය්රිභාවය ආරක්ෂා කරන ගමන්) ප්‍රතිපත්ති සඳහා රජයට උපදෙස් දීම උගත් දේශප්‍රේමීන්ගේ මුලිකම වගකීමයි. මැතිවරණයෙන් පරාජය වී ජනතාව ප්‍රතික්ෂේප කළ වුනට චිට් මන්ත්‍රී පදවි ලබාදී ඇමති පදවි වලින් පිදීම, ‘ජම්බෝ කැබිනට්’ එකක් බිහි කිරීම, නුසුදුසු ලෙස මුළු රටම දන්නා අයට ඇමති ධුර පිරිනැමිම මොනයම් රජයක් සිදු කලත් තරයේ හෙලා දැකිය යුතු ක්‍රියාවන් වේ. මේවා යහ පාලනය නොව අයහ පාලනයේ සාධක වෙත්.
වංචා, දුෂණ, අල්ලස් මොන රජයක් මඟින් සිදු කලත් එවැනි දේ පෙන්නා දීම, ඒ ගැන ලිවීම සහ විවේචනය කිරීම උගත් දේශප්‍රේමීන්ගේ වගකීම විය යුතූයි. එවන් දේශප්‍රේමීන්ව සෙසු දේශප්‍රේමීන් විසින් (බොහෝවිට , දේශපාලන පක්ෂ/චරිත දිවිහිමියෙන් ආරක්ෂාකිරීමට කැපවී වැඩ කරන දේශප්‍රේමින්) විවේචනය/චරිත ඝාතනයට ලක් කරන්නේ නම් එය සැබවින්ම කනගාටුවට කරුණකි. එයින් රටට, ජාතියට සෙතක් නොවේ. 1931දී අනගාරික ධර්මපාල තුමා රට අත් හැර යාමට එක් හේතුවක් වුයේ ඇතැම් උගත් සිංහලයන් එතුමාව ඉතා දැඩිවූ, අසාධාරණ චරිත ඝාතනයට ලක් කීරීමයි. සෝම හෑමුදුරුවන් ජීවත්ව සිටියදී ලැබුනේද බොහෝ නින්දා අපහාසය. මරණයට පත්වූ කාලයේ උන්වහන්සේව බොහෝ රූපවාහිණි නාලිකා මඟින් තහනම් කර තිබුණි.
ඉන්දියාවේ අද කෝටි 250ක්වු මද්‍යම පන්තික ප්‍රජාවක් වෙත්. 2025 වනවිට මේ ගණන කොටි 550 දක්වා ඉහල යනු ඇත. මෙවැනි ඉන්දියාවකින් (අපට ඉතාම සමීප රට) CEPA ඇතුව හෝ නැතුව, අපට ලබා හැකි ආර්ථිකව වාසි කියා නිම කල නොහැක. ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං’ බවට පත්වුවහොත් අප ඉතා දියුණු ධනවත් රටක් බවට පත්වීම කිසිවෙකුට නතර කල නොහැකිය. මේ සඳහා අප ඉන්දියාවේ වහලෙක් වීමට හෝ එහි ප්‍රාන්ත රාජ්‍යක් බවට පත් වීමට අවශ්‍ය නොවේ. මේ යෝජනා කරන්නේ තනිකරම ආර්ථික සම්බන්ධතාවයක් (economic arrangement) පමණි. ඉන්දියාව හැරුණු විට අපට කරපිටින් ගොස් ධනවත් විය හැකි රටක් අප ජීවත්වන කලාපයේ නැත.
කලින් කීවාක් මෙන් අපට ඇති විශාලතම ප්‍රශ්නය වනුයේ ඉන්දියාවට සැපයීමට තරම් අපනයන භාණ්ඩ අප දැනට නිෂ්පාදනය නොකිරීමයි. කලින් සඳහන් කලාක් මෙන්, පසු ගිය වසරවල නිෂ්පාදනමය සහ කර්මාන්ත කෙරෙහි නැඹුරුවූ ආර්ථිකයක් (GDP growth economy) වෙනුවට සේවා සලසන ආර්ථිකයක් අප රටේ නිර්මාණය කිරීමේ පළ විපාකයිමේ. කෙසේ වෙතත් කෘෂි නිෂ්පාදන, මල්, එළවළු, පලතුරු වර්ග, කළා ශිල්ප භාණ්ඩ, සුළු අපනයන නිෂ්පාදන, විශේෂයෙන්ම කුරුඳු, ගම්මිරිස් (spices) ආදිය අපට යම් ප්‍රමාණයෙන් ඉන්දියාවට දැනටමත් යැවිය හැකියි. ඉන්දියාව විශාල වශයෙන් තේ නිෂ්පාදනය කරන රටක් වුවත් එම රටෙහි අද විශාල අභ්‍යන්තර පාරිභෝගික තේ හිඟයක් පවතී. මේ අනුව ලොව විශිෂ්ටතම තේ නිපදවන රට වන ශ්‍රී ලංකාවට ඉන්දියාවට තේ අපනයනය කල හැකි වනු ඇත (හොඳින්, ඒ පිලිබඳව අලෙවි පිලිබඳවූ කාර්යයන් සිදු කළහොත්). මේ වනතුරු අප ඉන්දියාවට තේ යවා නොමැත.
ඉන්දියාව ශ්‍රී ලංකාව තුල ඉන්දීය කර්මාන්ත ක්ෂේශ්ත්‍රයට අවශ්‍ය මුල් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කම්හල් පිහිටුවීමට ආධාර කල යුතුයයි ශ්‍රී ලංකාව ඉන්දියාවට පැවසිය යුතුයි (Sri Lanka to become a logistic hub to various production chains in India). මෙය CEPA ගිවුසුමේ අඩංගු කල යුතුයි.
ඔවුන් ඒ ඉල්ලීම භාර ගන්නවා ඇත. දැනටමත් ත්‍රිකුණාමලයේ සහ උතුරේ එවැනි මද්‍යස්ථාන පිහිටවීමට ඉන්දියාව පොරොන්දු වී සිටි. මේ වෙනුවෙන් ඉන්දීයරජයට අමතරව ඉන්දීය පුද්ගලික අංශය ඩොලර් බිලියන 5ක් හෝ ඊටත් වඩා ආයෝජනය කිරීමට පොරොන්දු වී තිබේ. හම්බන්තොට වරාය ආශ්‍රිතවද එවැනි නව ඉන්දීය කර්මාන්ත පුරයක් (Indian economic zone) බිහි කල යුතු යයි අප ඔවුනට කිව යුතුය.
මෙවැනි කර්මාන්ත පුර වලින් ඉන්දීයාවේ පිහිටි මව් කර්මාන්ත ශාලා වලට අවශ්‍ය කොටස් (රථවාහන, පරිගණක, බෙහෙත් ද්‍රව්‍ය, ආහර වර්ග උදාහරණ කිහිපයක් පමණි ) නිපදවිය හැකිවේ. මේවායින් ලංකාවට අධික විදේශ විනිමය ගලා එනවාක් පමණක් නොව විශාල පරිමානයේ රැකියා අවස්ථා ඉපදෙනවා ඇත. ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශ ගතවීම නතරවීමෙන් පවුල් වල ඇතිවන පුද්ගලික/සමාජමය ගැටළු/ ප්‍රශ්ණ අඩු වෙනවා ඇත. ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොංකොං’ වීය යුතුයයි කිවේ මේ කරුණුද සලකා බලායි. මෙය ශ්‍රී ලංකාවේ ස්වය්රිභාවයට හෝ ආත්ම අභිමානය හින වීමේ ප්‍රශ්නයක් නොවේ.
ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධනය, විශාල පරිමානයේ නිවාස ව්‍යාපෘති (උතුරේ නිවාස 50,000ක්), සාම්පුර් ගල් අඟුරු බලාගාරය වෙනුවෙන් විශාල මුදල් පරිත්‍යාග කිරීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටියි. ඉන්දීයාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියනයකට අධික මහා බැංකු ණය අයිරා (line of credit), විනිමය හුවමාරුතා ගිවුසුමක් (currency swap agreement) දැනටමත් ක්‍රියාත්මක වේ.
මේ ආධාර පිළිබඳව අප ඉන්දියාවට ස්තුති කළ යුතුයි (මේවා බොහොමයක් ණය නොව ඍජු ආධාරයි).
කෙසේ වෙතත්, ඉන්දියාව විසින් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ, ඔවුන්ගේ වියදමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන, පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කොඩි සිට ශ්‍රී ලංකාවේ තලේමන්නාරම දක්වා ඉදි කිරීමට අදහස් කරන අධිවේගය සහ දුම්රිය මාර්ග යෝජනාවට අප දැන්මම අවසාන කැමැත්ත ප්‍රකාශ කල යුතු නොවේ. විශේෂයෙන්ම තමිල්නාඩුව නිසා තිබෙන ප්‍රශ්න/ හිරිහැර නිසා ශ්‍රී ලාංකිකයෝ මේ නව මාර්ගය (පාලම) ගැන විචික්සාවෙන් පසු වෙත්. ඔවුහු මේ ගැන බොහෝ සොයා බලමින් සිටිත්.
මෙවැනි පාලමක් නිසා ශ්‍රී ලංකාවට ඉමහත් ආර්ථික වාසි රැසක් ලැබෙන බව නම් නොරහසකි. ශ්‍රී ලංකාව ‘ඉන්දියාවේ හොං කොං’ බවට පත්වීම මේ නිසා වේගවත් වනු ඇත. ශ්‍රී ලංකාවට ඉන්දියාවේ සිට පැමිණෙන බටහිර සංචාරකයන් ගණනම (යුරෝපා, ඇමෙරිකා ආදී) මෙවැනි පාලමක් නිසා දහස් ගණනින් ඉහල යනු ඇත. ප්‍රවාහන ගාස්තු අඩු වීමෙන් ඉන්දියාවෙන් එන භාණ්ඩ මිල අඩු වෙනු ඇත. අප ඉන්දියාවට යවන භාණ්ඩ මිලද අඩු වනු ඇත. බොහෝ පිරිසකට බුද්ධගයා වන්දනාව ඉතා අඩු මිලකට කර ගැනීමට හැකිවනු ඇත. මෙවන් පාලමක් නිසා ලැබෙන වෙනත් ආර්ථික සහ සමාජීය වාසි බොහෝය.
නමුත්, මෙවැනි ව්‍යාපෘතියකට කැමැත්ත දීමට ප්‍රථමව එවන්නක් මඟින් ශ්‍රී ලංකාවේ ස්වයිරිභාවයට සහ භෞමික අඛන්ඩතාවයට බාධාවක් නොවන බවට ස්ථිරවම ශ්‍රී ලංකා වාසීන්ට එත්තුගැන්වීමට ශ්‍රී ලංකා රජය සමත් විය යුතුය.
අද දිනයේ ජනතාව තුල මෙවැනි ව්‍යාපෘතියකට ඇත්තේ ඉමහත් වූබියක් බව මෙහිලා කිව යුතුය. මේ පාලම ඔස්සේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදයක් නැවත ඇති කිරීමට පාර කැපිය හැකිද (ආයුධ, උපකරණ, පිරිස්); තමිල්නාඩු ආක්‍රමණයක් මේ මඟින් අපේ උතුරට -උතුරේ ඊළාම්වාදීන් සමඟ එක්ව කල හැකි වේද, එවැනි තත්ත්ව මර්දනය කිරීමට අපේ ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ ශක්තිමත්ද/නැද්ද; මේ කරුණු පිළිබඳව මනා කථිකාවක් රට තුළ ඇතිවීම අතයාවශ්‍යය (තමිල්නාඩුව කොතරම් තර්ජන ගර්ජන කලත් අපට අයත් කච්චතිව් දුපතට ආක්‍රමණයක් කිරීමට ඔවුනට නොහැකි වූ බවද අප අවධාරණය කරගත යුතුය. ඒ, කච්චතිව්හි රඳවා සිටින අපේ එඩිතර නාවික භටයන් නිසාය, සහ ඉන්දීය මධ්‍යම රජයෙන් ඔවුනට ධෛයිරයක් ලබා නොදුන් නිසාය ).
මෙම සිංහල පරිවර්තනය මුල් ඉංගිරිසි ලිපියේ කතුවරයා විසින්ම වේ

Comments